ජනවාරි 08 වැනිදා ජනාධිපති පදවිප්‍රාප්තිය සැමරීම සඳහා සැණකෙළි, සංදර්ශන නොපත්වන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
2016 වසර පුරා අසමසම සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීමට රජය සැලසුම්කර ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය. කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති උත්සවයකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"හිටපු ඇමති විමල් වීරවංශ මාසයක විදේශ සංචාරයකින් පසුව මෙරට පැමිණි වහාම කියා තිබෙන්නේ වත්මන් යහපාලන රජය ජනවාරි 08 වැනිදා %ආප්ප විප්ලවය සැමරීමට දින 07 ක් සැණකෙළි සංදර්ශන පැවැත්වීමට සූදානම් වන බවයි.
නමුත් සත්‍ය නම් අප සැණකෙළි, සංදර්ශන පැවැත්වීමට සූදානම් නැති බවයි. අපේ අරමුණ ජනවාරි 08 වැනිදායින් පටන්ගෙන 2016 වසර පුරා ශ්‍රී ලංකාවේ පළාත් 09 ට අයත් දිස්ත්‍රික්ක 25 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 320ක, ග්‍රාම නිලධාරී වසම් 14022 ක, කුඩා ගම්මාන 38,000 ක ගමින් ගමට දොරින් දොරට ගොස් ඓතිහාසික සංවර්ධන විප්ලවයක් දියත් කරන්නයි'
වීරවංශ ඇමතිවරයාද කොටස්කරුවෙකු වුණු පසුගිය ආණ්ඩුව කාලයේ තිබුණේ කැසිනෝ විප්ලවය, මත්කුඩු විප්ලවය, එතනෝල් විප්ලවය, රාජ්‍ය සම්පත් ගසා කෑ විප්ලවය, ස්ත්‍රී දූෂණ විප්ලවය, ළමා අපචාර විප්ලවය, මිනී මැරීමේ විප්ලවය වැනි රට අගාධයට රැගෙන ගිය විප්ලවයක් බව ජනතාවට අමතක නැහැ" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.