ජනපති අයවැය කතාවේදී කී කවි
අපේ ග්‍රාමීය සමාජය මුහුණදී තිබූ අසීරු තත්ත්වය දිවංගත සාගර පලන්සූරිය කලාශූරීන්ගේ කවි පන්තියකින් අයවැයට අදහස් ලබාගැනීම සඳහා 2014 ජුනි මාසයේ මොණරාගල පැවති රැස්වීමේදී අමාත්‍ය විජිතමුණි සොයිසා මහතා සිහිපත් කළ බව පවසමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24දා) 2015 අයවැය කතාවේ හැඳින්වීම කරමින් මෙසේ එම කවි පන්තිය ගායනා කළේය.
වහලේ සිදුරු අතරින් වැහි බිඳු බේරේ
ගොම මැටි නොගෑ බිම පොඩිවලවල් හෑරේ
කටු මැටි බිත්තියේ පොළවට බර තේරේ
මැටි ගැලවිලා දිය කඳයයි ගෙය හෑරේ
ගොම්මන් වෙලාවට ඇති බව අවතාර
අදහයි පිටිසරේ හැම ගැමියෙකු නෑර
ළමයා පෙනෙන නොපෙනෙන වේලේ පාර
ගෙට එයි ඇවිදින්නට බැරිවෙනකොට රෑට
මෙහිදී, වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා කියා සිටියේ, දිවංගත ඩී.එම්.රාජපක්ෂ මෙන්ම තම පියා වන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ, රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිටම ග්‍රාමීය කෘෂිකර්මික සමාජයක් වෙනුවෙන් දැරූ අදහස්වලින් පෝෂණය වීමත්, කෘෂිකර්ම හා වාරිමාර්ග කටයුතු සඳහා කතානායකතුමා දක්වන උනන්දුවත් නිසා, ඉහත කවිවල ගැබ්ව ඇති අඳෝනාව කතානායකතුමාට මැනවින් අවබෝධ වන බව තමා විශ්වාස කරන බවයි.
එමෙන්ම, දිවගත වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොන්වින් ආර්. ද සිල්වා, ශ්‍රීමත් වෛතිලිගම් දුරෙයිස්වාමි, සෞම්‍යමූර්ති තොණ්ඩමන්, ටී.බී. ජයා, ආචාර්ය බදියුදුන් මහමුද් වැනි නායකයන් මෙන්ම මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ දිවංගත ඩී.එස්. සේනානායක මහතාද දිරිගැන්වූයේ ගැමි සමාජය බලගන්වන කෘෂිකාර්මික ජාතික ආර්ථිකයක් බව ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් විස්තර කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

