රටේ විවිධ ප්‍රදේශවලදී එක් එක් ජනකොටස්වලට විවිධ ආකාරයෙන් සලකන බවට මතයක් ඇතැමුන් රට තුළ ගෙන ගියද වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ රටේ සියලු ජනතාවගේ හඬට ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාදීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
වවුනියාව, බෝගස්වැව මහා විද්‍යාලයේ අද (12දා) පැවති වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.
පවුල් 1500 ක පානීය ජල අවශ්‍යතාව සපුරාලමින් බෝගස්වැව යුද හමුදා කඳවුර පරිශ්‍රයේ ඉදිකෙරුණු ප්රතිආශ්රැතකරණ ජල පද්ධතිය විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.
ඉන් අනතුරුව බෝගස්වැව මහා විද්‍යාලයේ පැවති උත්සවයේදී වකුගඩු රෝගයට ගොදුරුවූ ස්ථිර නිවසක් නොමැති පවුල් සඳහා නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම, වකුගඩු රෝගයට ගොදුරුවූ පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ප්රදානය මෙන්ම වකුගඩු රෝගයට ගොදුරුවූ පවුල් 100 ක් සඳහා ජල ෆිල්ටර් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.
එම උත්සව සභාව ඇමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දිවයිනේ සෑම ප්‍රදේශයකම ව්‍යාප්තව ඇති වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති පුළුල් ජාතික වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවය.
එමෙන්ම උතුරේ ජනතාව මුහුණදී සිටින ගැටලු විසඳීමට රජය කැපවී කටයුතු කරන බවද පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, සනීපාරක්ෂක ඇතුළු ගැටලු විසඳීමට විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් කටයුතු කරන බවත් වත්මන් රජයේ යහපත් විදෙස් පිළිවෙතත් සමඟ ලෝකයේ රටවල් රැසක සහාය ඒ සඳහා හිමිව ඇති බවත් ප්‍රකාශ කළේය.
බෝගස්වැව මහා විද්‍යාලයට පැමිණෙන කි.මී 40 ක් පමණ වූ බොරලු පාර ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස එහි ජනතාව කරන ලද ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා පෞද්ගලිකවම ඒ පිළිබඳ සොයා බලා කඩිනමින් මාර්ගය ඉදිකර දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.