2015 ජනාධිපතිවරණයේදී ජනතාවගේ තීරණයට හිස නමන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වූයේ මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ අද කළ විමසීමකදීය.
“2015 ජනාධිපතිවරණයේ ජනතා තීරණයට හිස නමනවා. මා රට හැර යාමට බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම සන්ධානය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරමින් දිස්ත්‍රික් 13කම ජයග්‍රහණය ලබාදුන් ජනතාවට ආචාරය හිමි වෙනවා. 2010 යේ ප්‍රතිඵලය හා සැසඳීමේදී කොළඹ, මහනුවර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කත් අපි පරජයට පත්වුණා. අප පරාජයට පත්වූ අනෙක් දිස්ත්‍රික් 6 ඔවුන් 2005 දී මෙන්ම, 2010 දීත් ජයග්‍රහණය කළා. අපිට විශේෂයෙන්ම අපේ රටේ බහුතර දිස්ත්‍රික්ක ප්‍රමාණයක් හා පළාත් කිහිපයක්ම ජයග්‍රහණය කිරීමට හැකි වුණා. ඌව, වයඹ හා සබරගමු යන පළාත් තුනේ දිස්ත්‍රික්ක සියල්ලම අපි ජයග්‍රහණය කර තිබෙනවා. ඒ නිසා එක්තරා විදියක ජයග්‍රහණයක් ලබා තිබෙනවා. මෙතනදි කල්පනාකාරීව රටේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවයත් රැක ගැනීම ඉදිරියට බාධාවක් නොවන විදියට කටයුතු කරන විදියට කටයුතු කරයි කියල අපි හිතනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.