ජනපතිවරණයක් මේ මොහොතේ ගෙන එන්නේ නක්ෂත්රකරුවන්ගේ උවමනාවටයි
18 වැනි සංශෝධනයට ආණ්ඩුවේ හිඳිමින් සහාය දුන් එක වැරදියි
පිවිතුරු හෙටක් ජාතික සභාව විසින් රටේ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු බුද්ධිමතුන්ගේ සහායෙන් සකස් කර ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීමට කටයුතු නොකරමින් ආණ්ඩුව මේ මොහොතේදී ජනාධිපතිවරණයකට ගියහොත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව එම ජාතික සභාවේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (14දා) අවධාරණය කර සිටියහ.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් උපවාස, සත්යග්රහ, පා ගමන් ඇතුළු කළ හැකි සෑමදෙයක්ම සිදුකර රාජපක්ෂ මහතා පරාජය කරන බව පැවසූ උන්වහන්සේ මේ මොහොතේදී ජනාධිපතිවරණයක් ගෙනඑන්නේ නක්ෂත්රකරුවන්ගේ උවමනාවට මිස ජනතාවගේ ඉල්ලීමක් අනුව නොවන බව සඳහන් කළහ.
පිවිතුරු හෙටක් ජාතික සභාව විසින් සකස් කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනගත කිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයේදී රතන හිමියෝ මේ බව සඳහන් කළහ.
ජනාධිපති ධුරය පවතින අතරේ පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකුට බලය පැවරෙන ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවත්, මැතිවරණ ක්රමයේ වෙනසක් කළ යුතු බවත්, අධිකරණය ඇතුළු රාජ්‍ය සේවය ස්වාධීනව පවත්වාගෙන යා යුතු බවත් සඳහන් වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා බව උන්වහන්සේ කීහ.
ඒ අනුව පවතින 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතු බව පැවසූ රතන හිමියෝ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ආණ්ඩුවේ හිඳිමින් සහාය දීමට ගත් තීරණය වැරදි එකක් බවත්, ඒ පිළිබඳව තමන් වහන්සේ පාපොච්චාරණයක යෙදෙන බවත් සඳහන් කළහ.
වමේ දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විවිධ පාර්ශ්වවල ඉල්ලීම වී ඇත්තේද මේ මොහොතේ ජනාධිපතිවරණයක් නොපැවැත්විය යුතු බව යැයිද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
එබැවින් තමන් වහන්සේලා ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව අවධානය යොමුකරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු පාර්ශ්වවල සහාය ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවත්, ආණ්ඩු පක්ෂයේද සැලකිය යුතු ඇමතිවරු පිරිසක් සහාය දෙන බව ප්‍රකාශ කර ඇති බවත් රතන හිමියෝ කීහ.
මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙනඒමට සහාය දුන් ප්‍රධාන බලවේගයක් වූයේ තමන් වහන්සේලා බවද, ඔහු දේශපාලනයෙන් සමුගත යුත්තේ පිරිහුණු අයෙකු ලෙස නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.
මේ සඳහා කළ හැකි ඉහළම බලපෑම් කළොත් ජනාධිපතිවරයා දැනට සිටින ස්ථාවරය වෙනස් කළ හැකි බවත්, ඒ සඳහා ගතහැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් රතන හිමියෝ පැවසූහ.