පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වීමට හේතු කිහිපයක් සිදුවී නමුත් ප්‍රතිඵල වෙනස් කිරීමේ උත්සාහයක් හෝ ප්‍රතිඵල හිතා මතා ප්‍රමාද කිරීමේ උත්සාහයක් නොතිබුණ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාදවීම හේතුවෙන් කොමිෂන් සභාවට සමාජ මාධ්‍ය වෙතින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දිගු පිළිතුරක් ලබාදෙමින් ඔහු මේ බව පවසයි.
සියළුම සමාජ ජාලා ක්‍රියාකාරීන් වෙත කරුණාවෙනි,
2018.02.10 වන දින පැවැත්වීමට යෙදුනු පළාත් පාලන 340ක ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව සමාජ ජාලා තුළ පළවී ඇති විවිධ ප්‍රචාර සඳහා නිල වශයෙන් පිළිතුරක් ලබාදීම සුදුසු යැයි හැගුණු හෙයින් මෙලෙස කරුණු සඳහන් කරමි.
මීට ඉහතදී පැවති ඡන්ද විමසීම් සඳහා නිල ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා පරිගණක වැඩසටහන සකස් කිරීම සිදු කරන ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශය විසින් වන අතර 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන පරිගණක වැඩසටහන සකස් කරන ලද්දේ කැලණිය විශ්ව විද්‍යාලය විසිනි. කොළඹ විශ්ව විද්‍යාලයේ මීට ඉහතදී ඡන්ද විමසීම් වලදී අප සමඟ පරිගණක වැඩසටහන වෙනුවෙන් කටයුතු කරන ලද ප්‍රධානියෙකු මියයාම, මේ සම්බන්ධයෙන් මෙයට පෙර කටයුතු කර අත්දැකීම් සහිත ප්‍රධානියෙකු ස්ථාන මාරු ලබා යාම, එහි නිලධාරීන් අතුරින් මෙයට පෙර අප හා එක්ව ක්‍රියා කල අනෙක් ප්‍රධානියා පෞද්ගලික හේතු මත මෙම වැඩසටහනට සහභාගී වීම අපහසු බව දැන්වීම නිසා, ඉන් අනතුරුව පරිගණක වැඩසටහන සකස් කිරීමේ කටයුතු කැලණිය විශ්ව විද්‍යාලය වෙත පවරන ලදී.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථාන තුළ සිට පද්ධතියට දත්ත ඇතුළත් කිරීමටත් ඉන් අනතුරුව දත්ත පරීක්ෂා කිරීම පමණක් ප්‍රධාන කාර්යාලය මඟින් සිදු කිරීමටත්, අත්ත නිවැරදිව ඇතුළත් කර ඇති බව සනාථ වේ නම්, මාධ්‍ය ආයතන මඟින් වෙන් කර ගන්නා ලද දිගු හරහා ස්වයංක්‍රීයව, එම ප්‍රතිඵල පමණක් එම ආයතන වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් සකස් කර තිබුණි. එයට අදාළ පරීක්ෂා කිරීම් හා මුලික පුහුණු කටයුතුද සාර්ථකව අවසන් කරන ලදී.
ඒ ඒ ගම් නියම් ගම් උප නගර වල පිහිටි කොට්ඨාසයන් වල ප්‍රතිඵල අප බලාපොරොත්තු වූවාටත් වඩා කලින් ප.ව. 6.30 සිට ඒ ඒ ප්‍රදේශ වලදී නිකුත් කරන ලදී. ප්‍රමාදවූ කොළඹ නගරයේ හා තවත් සමහර ප්‍රදේශ කිහිපයක රාත්‍රී 11.30ට පෙර කොට්ඨාස මට්ටමින් සියළු ප්‍රතිඵලදී දී තිබිණි. අප විශ්වාස කලේ රාත්‍රී 8.00-12.00 අතර එම ප්‍රතිඵල නිකුත් කිරීමටයි. ඒ ඒ සභාවල සමස්ථ ප්‍රතිඵලය 11 වන දින මධ්‍යාහ්නය වන තෙක් ඇදී යනු ඇතැයි අපට හැඟී ගිය බැවින් ඒ බව 2018.02.10වන දින ඡන්ද විමසීම නිසි ලෙස පැවැත්වූ බවට ප්‍රකාශ කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කලෙමි. එසේ වුවත් අපගේ ප්‍රමාදය අනපේක්ෂිත තරම් වැඩිවීම කණගාටුවට හේතු වේ.
2018.02.10 වන දින රාත්‍රීයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වේ යැයි හැගුණු හෙයින් කොට්ඨාස මට්ටමින් අපගේ නිල ෆේස් බුක් පිටුවෙහි ප්‍රතිඵල පළ කරන ලද නමුත් රාත්‍රි 10.00 පමණ වන විට එය මුළුමනින්ම නතර කිරීමට සිදුවූයේ මාධ්‍ය විසින් මුදල් ගෙවා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ගිවිසුම්ගතව සිටියදී අප විසින් කලින්ම නිකුත් කිරීම නිසා මාධ්‍ය වෙතින් එල්ල වූ බරපතල විරෝධය හේතුවෙනි. කොට්ඨාස මට්ටමින් ප්‍රතිඵල පළකිරීම අපහසු බව ඡන්ද විමසීමට පෙර පැවති මාධ්‍ය සාකච්ඡා වලදී විද්‍යුත් මාධ්‍යවල නියෝජිතයින් ප්‍රකාශ කරන ලද හෙයින් කොට්ඨාස ප්‍රතිඵල ඔවුන් වෙත යොමු නොකරන ලදී.
ඡන්ද විමසීම් දින රාත්‍රියේ දිස්ත්‍රික් ප්‍රතිඵල මධ්‍යස්ථාන මඟින් දත්ත ඇතුළත් කිරීම් වලදී අනපේක්ෂිතව අඩුපාඩු සිදුවූ අතර (උදා ලෙස කොට්ඨාස 12ක් සහිත පළාත් පාලන ආයතනයක කොට්ඨාස 12ක්ම ඇතුළත් කර, ඉන් එකක තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඇතුළත් නොවීම, කොට්ඨාස 12න් 11ක්ම ඇතුළත් කර එකක් පමණක් ඇතුළත් කර නොමැතිවීම) එවැනි තොරතුරු නිවැරදි කිරීම සඳහා නැවත නැවතත් පරීක්ෂාවට ලක් කිරීමටත්, තොරතුරු ආපසු ගෙන්වා ගැනීමට දිස්ත්‍රික්ක වෙත කතා කිරීමට සිදුවීමත් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීම දැඩි සේ ප්‍රමාදයට ලක්විය. අපගේ සැලසුම A බිඳ වැටෙද්දී B සැලසුම ක්රියාවේ යොදවමින් ප්‍රතිඵල ෆැක්ස් මඟින් ගෙන්වාගෙන පරිගණක ඇසුරෙන් යතුරු ලියා දෘඩ පිටපත් මාධ්‍ය වෙත යොමු කිරීමට සිදු විය. අතින් එවැනි ගණනය කිරීම් සිදු කරන විට හා ප්‍රතිඑල ලේඛන 340ක සකස් කිරීමේදී බහු කොට්ඨාස වල ඇති ගණනය කිරීම් මඟ හැරීම හා තවත් ගණනය කිරීම් කිහිපයක වැරදි සහිතව ප්‍රතිඵල නිකුත් වුයේ ඇති වූ මානුෂික අතපසුවීම් හා මඟහැරීම් හේතුවෙන් බව කණගාටුවෙන් ප්‍රකාශ කරමි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක සමස්ත ප්‍රතිඵලය යනු ඒ ඒ සභාවල සභික සංඛ්‍යා ප්‍රකාශ කිරීම වන අතර එම නිවේදනය ඒ ඒ දිස්ත්‍රික්කවලදී ඒ ඒ සභාවලට අදාළව තේරීම්භාර නිලධාරී විසින් ප්‍රකාශ කිරීම සමස්ත ප්‍රතිඵලය ප්‍රකාශ කිරීම ලෙස සැලකේ. එහෙයින් ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණය හෝ පළාත් සභාව පරිදි මැතිවරණ කොමිෂන් සභාව විසින් සමස්ථ ප්‍රතිඵලයක් ප්‍රකාශ කිරීමක් සිදු නොකෙරේ.
මෙම ඡන්ද විමසීමේදී ඒ ඒ පක්ෂවලට අදාළව තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කිරීමේ හැකියාවක් නැති බව ඡන්ද විමසීමට පෙර සිටම ප්‍රකාශ කරන ලදී. මක්නිසාද යත් තැපැල් ඡන්ද ඡන්ද ප්‍රතිඵල ඒ ඒ කොට්ඨාසවලටම ඇතුළත් වන බැවින් එහෙයින් වෙනම තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුකර නැත.
එමෙන්ම ප්‍රතිඵල නිකුත් කරන ලද දින රාත්‍රිය සඳහා ප්‍රධාන කාර්යාලයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නියෝජිතයෙකු පත් කරන ලෙසට කලින් කරන ලද දැනුම් දීම පරිදි දේශපාලන පක්ෂ කිහිපයක් වෙනුවෙන් පත් කරන ලද නියෝජිතයයෝ මෙම කාර්යාලයේ රැදී සිටියහ. සභා 40කට වඩා තරඟ කරන දේශපාලන පක්ෂ වෙත කරන ලද මෙම දැනුම්දීම අනුව රාත්‍රී කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ (මහාචාර්ය අශුබෝධ මාරසිංහ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ජ්‍යෙෂ්ඨ නීතීඥ චම්පානි පද්මසේකර මහතා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (ජ්‍යෙෂ්ඨ නීතිඥ සාගර කාරියවසම් මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා) නියෝජිතයින් පැමිණ සිටි අතර ජනතා විමුක්ති පෙරමුණෙහි නියෝජිතයින් දුරකථනයෙන් නිරන්තරයෙන් සම්බන්ධ විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නියෝජිතයන් බොහෝ විට දෙදෙනාමද, කෙටි කාල අන්තරවලදී අවම වශයෙන් එක් අයෙකුද පෙබරවාරි 10වන දින රාත්‍රී 8.00 සිට පෙබරවාරි 11 දින පස්වරු 02.00ද පසුවන තෙක් අඛණ්ඩව මෙහි රැදී සිටි බවද සඳහන් කරනු කැමැත්තෙමි. එමෙන්ම මැතිවරණ නිරීක්ෂන සංවිධාන වල ප්‍රධානීන් විටින් විට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අතර ප්‍රතිඵල සැකසුම් කටයුතු ඔවුන් විසින් නිරීක්ෂණය කරන ලදී. එහෙයින් ප්‍රතිඵල වෙනස් කිරීමේ තැතක් හෝ චේතනාන්විතව ප්‍රමාද කිරීමක් සිදුවු බවට කෙරෙන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ. මේ නියෝජිතයින් සියළුම දෙනා කිසිදු බාධාකිරීමකින් තොරව ඉතා සුහදව මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයන්ට සහාය දෙමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ බවද ප්‍රකාශ කල යුතුව තිබේ.
කෙසේ වුවද ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා විශ්වාසනීය ලෙස පැවැත්වීමට හැකි වූ බව හා ගණන් කිරීම නිවැරදිව සිදුකරන ලද බව අපි නිශ්චිතව ප්‍රකාශ කර සිටිමු. ඒ පිලිබඳව අපි අතිශයින් සතුටු වෙමු. මේ සඳහා සහාය වූ සැමට ඡන්ද හිමියන්ට, අපේක්ෂකයින්ට, දේශපාලන පක්ෂ/ කණ්ඩායම් නායකයන්ට රජයේ හා රාජ්‍ය ආයතන වල සියළු නිලධාරීන්ට, සිවිල් සංවිධාන වලට, පොලීසිය හා ජනමාධ්‍ය ආයතන වලට අපගේ කෘතඥතාව හිමිවේ. ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේදී කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලද වාහන ප්‍රමාණවත් නොවීම නිසා මහනුවරද ඡන්ද විමසීම් කාර්යය මණ්ඩලයට අපහසුතා වලට මුහුණ දීමට සිදුවීම පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.
මෙම පළකිරීම සිදු කරනු ලබන්නේ අපෙන් සිදුවූ අතපසුවීම් වෙතොත් ඒ පිළිබඳ නිවැරදි කරුවන් වීම සඳහා නොව, අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැලැක් වීම සඳහාය. නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා ඔබ සියළු දෙනාගේ දායකත්වය ඉතා අගේ කොට සලකමු.
ස්තූතියි.
මහින්ද දේශප්‍රිය
මැතිවරණ කොමිෂන් සභාව