ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි චීන හමුදා ප්‍රධානී ජෙනරාල් ෂු කුයිලිඇන්ග් මහතා ප්රමුඛ දූත පිරිස ශ්‍රී ලංකාව සහ චීනය අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙයි.
චීන ජෙනරාල්වරයා ප්රමුඛ එරට ඉහළ පෙළේ හමුදා නියෝජිතයින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතාගේ අරාධනයෙන් දින තුනක සංචාරයක් වෙනුවෙන් මෙරටට පැමිණියහ.
ශ්‍රී ලංකා හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළේදී ෂු කුයිලිඇන්ග් මහතා පිළිගන්නා ලදී.
මෙම ගිවිසුම් යටතේ වෘත්තීය පුහුණුව, ඒකාබද්ධ ක්‍රියාකාරකම් මෙන්ම ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි තවදුරටත් හමුදාමය උපකාර ලබාදීමත් ඇතුළත් වන බව යුද හමුදාවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනරාල්වරයා මෙරට රැඳී සිටින කාලය තුළදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද හමුවීමට නියමිතය. එසේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රධානීන් හමුවීමටද ඔහු සැලසුම් කර ඇතැයිද යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
ජෙනරාල්වරයා චීන මධ්‍යම හමුදා කොමිසමේ තුන්වැනි බලවත්ම චරිතය වන එහි උප සභාපති ධුරය උසුලන පුද්ගලයාද වෙයි. වත්මන් චීන ජනාධිපති ෂි ජින් පින්ග් එහි සභාපතිත්වය දරයි. මීට අමතරව ජනරාල් ෂු කුයිලිඇන්ග් 2007 සිට 2012 දක්වා කාලය තුළ චීන ගුවන් හමුදාවේ හිටපු අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කළ චරිතයකි.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙරාතුව ජනරාල්වරයා කාම්බෝජයේ සහ බංග්ලාදේශයේද නිල සංචාරයක නිරත වී තිබේ. මෙරට සංචාරය අතරතුරදී ඔහු චීන වරායේ පිහිටි ගුවන් හමුදා ඇකඩමිය, ත්‍රිකුණාමලයේ පිහිටි නාවික සහ සාගරික විද්‍යාපීඨය, මහනුවර දළදා මාලිගාව, කටුනායක ගුවන් හමුදා කඳවුර සහ කොළඹ වරාය වෙතද යාමට නියමිතය. මීට අමතරව ජෙනරාල්වරයා සමග පැමිණි නියෝජිතයින්ද චීන වරායේ පිහිටි ගුවන් හමුදා ඇකඩමියේ සංචාරයක නිරත වෙන අතර, ඊයේ (14දා) දිනයේදී ත්‍රිකුණාමලයේ පිහිටි නාවික සහ සාගරික විද්‍යාපීඨය වෙත යාමට නියමිතව තිබුණු අතර, ගුවන් හමුදා ඇකඩමියේදී මේ නියෝජිතයින් වෙත රාත්‍රී භෝජනයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබුණු බව වාර්තා වෙයි.
සුපුන් ඩයස්