ඉන්දියාවේ, කොල්කටා හි වැඩ අවසන් වෙමින් පැවති ගුවන් පාලමක් කඩා වැටීමෙන් මියගිය පිරිස මේ වනවිට 22 දක්වා ඉහළ ගොස් ඇති අතර, එම ඉදිකිරීම් සමාගම පවසන්නේ මෙම අනතුර දෙවියන්ගේ ක්‍රියාවක් බවයි.
ඉන්දීය මාධ්‍ය පවසන ආකාරයට එම පාලමේ විශාල වානේ කඳන් හා කොන්ක්‍රීට් තට්ටුවලට යටවී තවත් විශාල පිරිසක් සිරවී සිටිති.
කිලෝමීටර් 2.2ක් දිගින් යුතුව ඉදිවෙමින් පැවති මෙම ගුවන් පාලමේ මීටර් 250ක පමණ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර, දහවල කාර්ය බහුල වේලාවක මෙම අනතුර සිදුවීම ජීවිත හානි වැඩි වීමට හේතු වී තිබේ.
එම ආසන්නයේ තිබූ සී.සී.ටී.වී. දර්ශනවලට අනුව මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථ, ලොරි රථ, මෝටර් රථ, ත්‍රීවීලර් මෙන්ම මගීන්ද මෙම දැවැන්ත වානේ කඳන් හා කොන්ක්‍රීට් තට්ටුවලට යටවී පොඩිවී ගිය බව කියැවෙයි.
"මේක වෙන දෙයක් නෙමෙයි. මේක දෙවියන්ගේ වැඩක්. වසර 27ක අපේ ඉතිහාසයේ අපි මෙවැනි පාලම් රැසක් ඉදිකර තිබෙනවා. නමුත්, මේ වගේ දෙයක් කොහෙත්ම සිදුවුණේ නෑ." යැයි පවසන්නේ හයිද්‍රාබාද් නගරය කේන්ද්‍ර කරගත් අයි.වී.ආර්.සී.එල්. ගුවන් පාලම් සමාගමේ ප්රකාශකයෙකි.
අද සවස වනවිට 80කට ආසන්න පිරිසක් මෙම සුන්බුන් අතරින් තුවාල සහිතව බේරාගෙන තිබුණි.