ගෑස් සහ තෙල් ගවේෂණයට කටාර් සහාය
ශ්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගවේෂණ කටයුතු සඳහා සහාය දැක්වීමට කටාර් රාජ්‍ය කැමැත්ත පළකර තිබේ. කටාරයේ එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල්තානි මහතා ඊයේ (24දා) දිවයිනට පැමිණි අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවලින් පසුව එමීර්වරයා තෙල් ගවේෂනයට සිය කැමත්ත ප්‍රකාශ කර සිටියේය. ඔහු ඊයේම දිවයිනෙන් පිටත්ව ගියේය.
උතුරු නැගෙනහිර පළාතේ ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා සහාය දැක්වීමට කටාර් රාජ්‍යය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
එහි ඉදිරි කටයුතු පිළිබඳ සොයාබැලීමට එරට අමාත්‍ය නියෝජිත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට එවන බව කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාද් අල්තානි මහතා පැවසීය.
කටාර් එමීර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම ශ්‍රී ලංකා නිල සංචාරය කෙටි සංචාරයක් වුවද එය ඉතා වැදගත් සංචාරයක් බවයි. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ඉහළ නංවන ලෙස මෙහිදී ජනාධිපතිවරයා කටාර් එමීර්වරයාගෙන් ඉල්ලා සිටි අතර, කටාර් රාජ්‍යයද ඒ සඳහා මහත් උනන්දුවකින් පසුවන බව පැවසූ කටාර් එමීර්වරයා ඊට අවශ්‍ය ක්‍රමවේදය ඉදිරියේදී ශක්තිමත් කරන බව පැවසීය.
දෙරට අතර සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාවය පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී රාජ්‍ය නායකයින් දෙපළ අතර සාකච්ඡා වූහ.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එක්ලක්ෂ විසිපන්දහසක් පමණ මේ වනවිට කටාර් රාජ්‍යයේ සේවය කරන අතර, ඔවුන්ගේ සුබසාධක කටයුතු ඉහළ නංවන ලෙසද මෙහිදී ජනාධිපතිතුමා කටාර් එමීර්වරයාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර තරුණ ක්‍රීඩා කටයුතු සහ ජනමාධ්‍ය පිළිබඳ ගිවිසුම් තුනකටද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.
ක්‍රීඩාවලට අවශ්‍ය පහසුකම් නැංවීම මෙන්ම තරුණ පුහුණු කටයුතු සහ ප්රවෘත්ති හුවමාරු කර ගැනීම එම ගිවිසුම්වල ඇතුළත්ය.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද කටාර් එමීර්වරයා සමග පැමිණි එරට නියෝජිත පිරිසද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

