ග්ලයිෆොසේට් තහනම හේතුවෙන් මෙවර බඩඉරිඟු නිෂ්පාදනය 20% කින් පමණ අඩු විය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
එක්වරම එය තහනම් කිරීම තුළ ගොවීන්ට වල්නැසීමට විසඳුමක් සොයාගැනීමට නොහැකි වූ බවත්, රජය එම වල්නාශක තහනම් කළේ කිසිවෙකුගෙන් හෝ පළිගැනීමට නොව සිදුවන හානිය සැලකිල්ලට ගෙන බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ(05) එම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
එමෙන්ම ගොවීන් තහනම් කරන ලද දෑ පසුපසු නොයා නව තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන ලෙසද දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
පසුගිය රජය සමයේ පොහොර සහනාධාර ක්‍රමය යටතේ ගෙන්වූ පොහොර මිටියක් අලෙවි කළ හැක්කේ රුපියල් 1200 -1300 අතර මිලකට බවත්, ඇතැම් වෙළෙඳුන් ඒවා රුපියල් 3000 - 3500 අලෙවි කරන බවට තොරතුරු ඇති ලැබී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, එය නීතිවිරෝධී කටයුත්තක් බව පෙන්වා දුන්නේය.