මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12 1/2ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් රේගු අධිකාරිවරුන් සිවුදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැලකෙන මෙම රුපියල් කෝටි 12 1/2ක අල්ලස් මුදල ඉල්ලා ලබාගැනීම කුමන්ත්‍රණකාරීව සිදුකිරීම ඇතුළු චෝදනා 16ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමග එක්ව මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ ඇත්තේශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස යන මහත්වරුන්ය.
2015 ජුනි මස 22 වැනිදාත්,2015 ඔක්තෝබර් මස 15 වැනිදාත් අතර කාලයේ කොළඹ පංචිකාවත්තේදී රුපියල් මිලියන 150ක මුදලක් දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමග එක්ව ඉල්ලා ලබාගැනීමට කුමන්ත්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් චෝදනා ඉදිරිපත් කර ඇත.
එමකුමන්ත්රණයට අනුව අවස්ථා කිහිපයකදී පැමිණිලිකරුගෙන් අල්ලස් ඉල්ලීම, ඒ අනුව 2015 ඔක්තෝබර් මස 15 වැනිදා රුපියල් මිලියන 125ක මුදලක් ලබාගත් බවට හා සෙසු විත්තිකරුවන් ඊට ආධාර සහ අනුබල දුන් බවට වැඩිදුරටත් චෝදනා ඉදිරිපත් කොට තිබේ.
රුපියල් කෝටි 12 1/2ක අල්ලස් මුදල ඉල්ලීම සම්බන්ධයෙන් මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකු වන බන්ධුලසේන මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබිණි.
පැමිණිලිකරු මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වීමේදී රජයට අඩුවෙන් බදු මුදල් ගෙවා ඇති බව සඳහන් කරමින් පැමිණිලිකරුගේ ගබඩාව පරීක්ෂාවට භාජනය කර ඇති බවත්, එහිදී නිසි අන්දමට මෙම භාණ්ඩ ගණනය කළහොත් රුපියල් මිලියන 300ක පමණ බදු මුදලක් රජයට ගෙවීමට සිදුවන බවටපවසා එය අඩුවෙන් ගණනය කර රජයට අඩුවෙන් බදු මුදල් ගෙවීමට සලසාදීම සඳහා රුපියල් මිලියන 150ක මුදලක් විත්තිකරුවන් විසින් මුල් අවස්ථාවේදී ඉල්ලා ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දී ඇත.
රුපියල් මිලියන 150ක මුදල ඉල්ලීමේ සිද්ධියෙන් පසු පැමිණිලිකරු අවස්ථා ගණනාවකදී විත්තිකරුවන් සමග සාකච්ඡා කර අල්ලස් මුදල රුපියල් මිලියන 125ක් දක්වා අඩු කරගෙන ඇති බවත්, ඉන් අනතුරුව 2015 ඔක්තෝබර් මස 15 වැනිදා රුපියල් මිලියන 125ක මුදලක් පැමිණිලිකරුගේ ව්‍යාපාරික ස්ථානයේදී ලබාගන්නා අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනෙකුත් ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී සෙසු විත්තිකරුවනුත් අත්අඩංගුවට ගෙන ඇතැයිද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලේඛන හා සාක්ෂිවලට අමතරව හඬපට සහ රූප දර්ශන සහිත වීඩියෝපටද සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.