කොළඹ නගරය තුළ සවිකර ඇති සියලු වර්ගයේ අනවසර ප්රචාරක දැන්වීම් පුවරු ඉවත් කිරීමට කොළඹ මහා නගර සභාව තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ නගරයේ අලංකාරයට හානිවන ආකාරයටත්, අනාරක්ෂිතවත් කොළඹ මහ නගර සභාවේ විධිමත් අනුමැතියකින් තොරව නගරය පුරා සවිකර ඇති සියලු ප්රචාරක දැන්වීම් පුවරු ඉවත් කිරීමට කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතාගේ උපදෙස් අනුව කොළඹ මහ නගර සභාව කටයුතු කරන බව එහි මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, නගරය තුළ සවිකර ඇති සියලු අනවසර ප්රචාරක දැන්වීම් පුවරු ඉවත් කරගන්නා ලෙස ඒවා සවිකර ඇති ආයතනවලින් කොළඹ මහ නගර සභාව ඉල්ලා සිටියි. එසේ නොවුවහොත් ඒවා ගලවා ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු කරන බවද එම නිවේදනයෙහි දැක්වෙයි.
එමෙන්ම ඒ වෙනුවෙන් සභාවට දැරීමට සිදුවන වියදම අදාළ දැන්වීම් සවිකර ඇති ස්ථානවල හිමිකරුවන්ගෙන් හා අදාළ ආයතන වෙතින් අය කිරීමට කටයුතු කරන බවද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.