ආරක්ෂාව වෙනුවෙන් විදේශගත වූවන්ට නැවත රට තුළට පැමිණෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලීමක් කරමින් රට හමුවේ පොරොන්දුවක් ලබා දී තිබෙන නිසා තමාගේ පුතාට මේ රට තුළ පුරවැසියෙකු ලෙස ජීවත්වීමට අවස්ථාව ලබාදෙන ලෙස කුමාර් ගුණරත්නම් නොහොත් ප්‍රේම කුමාර් මහතාගේ මව ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.
1990 වසරේ සිට දේශපාලන කටයුතුවල නිරත වූ ප්‍රේම කුමාර් මහතා 2006 වසරේදී ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් මතු වූ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවත්, ඔහු පිටත්ව යෑමෙන් පසු බිරිඳ සහ දරු දෙදෙනාත් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවත් ඔහුගේ මව රාජමනී ගුණරත්නම් මහත්මිය ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.
ජීවිත ආරක්ෂාව පතා අනන්‍යතා කිහිපයකින්ම ඔහුට කටයුතු කිරීමට සිදු වූ බවත්, 2011 වසරේදී ලංකාවට පැමිණ සිටියදී පක්ෂයේ ඇතිවූ බෙදීමත් සමග ඔහු පිළිබඳව රටට බොහෝ තොරතුරු හෙළි වූ බවත් එම ලිපියේ සඳහන් කර ඇත.
මේ අනුව 2012 වසරේ අප්‍රේල් 06 වැනි දින ඔහු පැහැර ගැනීමට ලක්වූ බවත්, ඔස්ට්‍රේලියානු රජය, පවුලේ සාමාජිකයන්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මැදිහත් වීම නිසා පසුව ඔහු ඔස්ට්‍රේලියාවට පිටුවහල් කළ බවද එම ලිපියේ සඳහන් කර ඇත.
ඉන්පසුව 2014 වසරේදී ලංකාවට පැමිණීමට ඔහු අවසර ඉල්ලා සිටි බවත්, 2015 වසරේ ජනවාරි 01 වැනි දින නැවත ලංකාවට පැමිණි බවත් එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
මෙලෙස පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත්, තවමත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින් තමාගේ පුතාට රට තුළ පුරවැසියෙකු ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කර දෙන ලෙසද එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටී.
මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා නිදහස් කරන තුරු කොටුව දුම්රියපළ ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අවසන් නොකරන බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ඊයේ (15දා) පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය අවලංගු කිරීමට හේතු පැහැදිලි කිරීම පිළිබඳව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මාධ්‍යට කරුණු දක්වමින් ඒ මහතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයගොඩ මහතා මෙසේද පැවසීය.
'පසුගිය 13 වැනිදා ආරම්භ කළ මෙම අඛණ්ඩ සත්යග්රහ ව්‍යාපාරයට මේ වන විට පාක්ෂිකයන් බොහෝ පිරිසක් එක්ව සිටිනවා. මෙම ස්ථානයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට අපේ පක්ෂය සැලසුම් කර තිබුණද කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍ර‘දේශවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය නිසා එය අතහැර දැමීමට සිදුවූවා. අධික වර්ෂාව හේතුවෙන් පාක්ෂිකයන් බොහෝ පිරිසකට ගමනා ගමන අපහසුතා මතුව තිබීම ඊට හේතුවයි. කුමාර් ගුණරත්නම් මහතාට අදාළව නඩුව කැඳවන මේ මස 18 වැනිදා ඔහුගේ 50 වැනි උපන් දිනය යෙදී තිබෙන බැවින් ආණ්ඩුවට බලකිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයන් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.'
ඡායාරූප - ඉසුරු පෙරේරා