හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි ගණනින් මුදල් හා දේපළ උපයාගත් ‘කුඩු මර්වින්’ නමැත්තාගේ සියලුම දේපොළ රාජසන්තක කිරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය ඔහුට වසර හතළිහක බරපතළ වැඩ සිහිත සිර දඬුවමක්ද රුපියල් කෝටි 2 1/2කට අධික දඩයක්ද නියම කළාය.
කොළඹ මහාධිකරණයේ නඩුවකට ඉදිරිපත් කොට යළි බන්ධනාගාරයට රැගෙන යන අතරතුර අවි ගත් කණ්ඩායමක් විසින් මහාධිකරණය ඉදිරිපිටදීම පැහැරගෙන ගිය වේලායුධන් මෙතියස් චන්ද්‍රපාල හෙවත් 'කුඩු මර්වින්' නමැත්තා නොමැතිව ඔහුට විරුද්ධව පවරා තිබු නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරිය ඔහුට මෙම දඬුවම නියම කළාය.
විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස දුටු තැන අල්ලන ලෙස ජාත්‍යන්තර පොලීසියට නියම කරමින් 'රතු වරෙන්තු’ නිකුත් කළ විනිසුරුවරිය විත්තිකරු දුටු තැන අල්ලන ලෙස නියම කරමින් මෙරට පොලීසියට විවෘත වරෙන්තු නිකුත් කළාය.
2008 ජුනි මස 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කැලණියේදී නීති විරෝධී ක්‍රියාකාරකමක් වන හෙරොයින් ජාවාරම් කිරීමෙන් උපයාගන්නා ලද මුදල්වලින් රුපියල් ලක්ෂ 55 ක් හා රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් වැයකොට ඉඩම් මිලදී ගන්නා ලද බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා දෙකක් මත නඩු පවරා තිබිණි.
කොළඹ මහාධිකරණය ඉදිරිපිටදී අත් විලංගු සමගම විත්තිකරු පැහැරගැනීමෙන් අනතුරුව විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහු නොමැතිව නඩුව විභාග කෙරිණි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රියාස් බාරි මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරිය අදාළ සියලුම චෝදනාවලට ඔහු වරදකරු බවටද තීරණය කළාය.
ඒ අනුව විත්තිකරුගේ සියලුම දේපළ රාජසන්තක කළ විනිසුරුවරිය විත්තිකරු වරදකරු වූ එක් චෝදනාවකට වසර 20 බැගින් චෝදනා දෙකට වසර 40 ක බරපතළ වැඩ සිහිත සිර දඬුවම් නියම කළාය.
ඊට අමතරව පළමු චෝදනාවට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක දඩයක්ද, දෙවැනි චෝදනාවට රුපියල් ලක්ෂ 90 ක දඩයක්ද නියම කළ විනිසුරුවරිය දඩ මුදල් නොගෙවුවහොත් අමතර වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළාය.