බස්නාහිර පළාතේ කිසිදු ඉඩම් ගොඩකිරීමකට ඉඩ නොතැබීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ දී එල්ලවන කිසිදු බලපෑමකට යටත් නොවන ලෙස ජනාධිපති මෛතීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.
එහිදී ඝෘජු තීන්දු තීරණ ගන්නා නිලධාරින් වෙනුවෙන් තමා නිරන්තරයෙන් පෙනී සිටින බව ද ඒ සම්බන්ධයෙන් දැනටමත් යම් බලපෑමක් එල්ල වී තිබේනම් නොපැකිලිව තමා දැනුවත් කරන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ට අවධාරණය කර ඇත.
මීට පෙර පළාතේ ඉඩම් ගොඩකිරිම් සඳහා ලබාදී තිබු සියලූ අනුමැතියන්ද වහාම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දී ඇති අතර අද (02දා) පස්වරුවේ වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති ගම්පහ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමට එක්වෙමින් මෙම උපදෙස් ලබාදී තිබේ.
පසුගියදා සිදුවු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ගෙන ඇති පියවර පිලිබඳව මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා කිසිදු අඩුපාඩුවකින් තොරව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, අර්ජුන රණතුංග, ෆයිසර් මුස්තාෆා, සරත් ෆෝන්සේකා, රාජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් විජේවර්ධන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානම්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.