තමා එක්සත් ජාතික පක්ෂයට එකතු වන බවට වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් තිබෙන බැවින් ඔහුට එරෙහිව නඩු පවරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (06දා) ප්‍රකාශ කළේය.
එසේම එම ප්‍රවෘත්තිය වාර්තා කළ සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන සහ සමාජ වෙබ් අඩවි වලට එරෙහිවද අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.
නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය. කිසිදු චෝදනාවක් නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට පැමිණි තමාගේ චරිතය ඝාතනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට උවමනාවක් තිබෙන බව පැවසූ ඒ මහතා, ඊයේ දිනයේදීම නීතිඥයින් හමුවී අවශ්‍ය නීතිමය පියවර ගත් බවද සඳහන් කළේය.
ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන්නැයි තමා ආරාධනා කර සිටින බවත්, මහ මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිවූ පසු කැබිනට් ඇමති ධුරයක් ලබාගෙන සේවය කිරීම තමාගේ බලාපොරොත්තුව බවත් එහිදී කියා සිටියේය.
මහ මැතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂය සමග කිසිම අවස්ථාවකදී සාකච්ඡාවක් නොපැවැත්වූ බවත්, එම පක්ෂයට එකතුවීම සඳහා එකඟතාවයන්ට නොඑළැඹි බවත් ඒ මහතා පැවසීය. එම පක්ෂයට එකතු වීම සඳහා එකඟතාවයන්ට නෙඑළඹි බව පැවසූ ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ප්‍රවෘත්තිය පළවීමෙන් පසු තමාගේ මැතිවරණ ව්‍යාපාරය කඩා වැටුණු බවයි.