මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයන් පිළිබඳ මෙතෙක් හෙළිනොවූ කරුණු රාශියක් පාර්ලිමේන්තුවේදී පෙන්වාදීමට, ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතව තිබූ මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට වඩා වාසිදායක තත්ත්වයකුත්, රවී කරුණානායක මහතාට අවාසිදායක තත්ත්වයකුත් ඇතිව තිබූ බවද ඒ මහතා පවසා සිටියේය.
පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති මයික්‍රෝෆෝන ක්‍රියාවිරහිත වීම නිසා අදට යෙදී තිබූ වැඩකටයුතු හෙට දින දක්වා කල් තැබීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටි මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
“කිමද නාවේ? ඇයි නාවේ? කිය කියා අපි බලන් හිටියාට ආවෙම නෑ. ඒ නිසා ඒ ශබ්ද විකාශන පද්ධතිය නොඑන ගමන් ගිහිල්ලා. හෙට ඒවි කියලා විශ්වාස කරනවා. ඒ අතරතුර බොහෝ දේ අද රාත්‍රි‘යේ සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. මොකද පසුගිය දවස්වල රාජ්‍ය අමාත්‍යවරුන්ට තමන්ගේ බලතල ලබාගැනීම සම්බන්ධයෙන් කේවල් කිරීම් හා හෙට්ටු කිරීම් ඊයේ දිනයේදීත් ජනාධිපතිතුමාත් මැදිහත් වෙලාසිද්ධ වුණා. වාහන නොමැති මන්ත්‍රීවරුන්ට අලුතෙන් වාහන ලබාදෙන්න එකඟතා ඇති වුණා. තව ඡන්දය නොදෙන්න හිතාගෙන හිටි කට්ටිය ඉන්නවා නම් ඒ අයගේ ඡන්දය ලබාගැනීම සඳහා අද දින සර්වලෝක වශීකරන වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා.
ඉතිං මේ මෙහෙයුම සඳහා තව දින දෙක තුනක් දික් කර ගැනීමේ අවශ්‍යතාව රජයට තිබුණාවත්දෝයි කියන සැකය අපි තුළ තිබෙනවා.