මොරගහහේන, වීදියගොඩ, හැලපිටිය ප්‍රදේශයේ කුලියට ගත් නිවසක රහසිගතව පවත්වාගෙන ගිය හෙරොයින් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් ලක්ෂ පහකට ආසන්න මත්කුඩු සමග පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (10දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන හා පානදුර, ගිරන පදිංචිකරුවන් තිදෙනෙකි.
අදාළ නිවසේ තිබී හෙරෝයින් මත්කුඩු පැකට් 4000ක්, හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 650ක්, මත්කුඩු කිරීමට උපයෝගී කරගන්නා ඉලොක්ට්‍රොනික් තරාදියක්, මත්කුඩු පැකට් කිරීමට ගන්නා විවිධ ලාංඡන සහිත කඩදාසි තොගයක්, කඩදාසි කපන යන්ත්‍රයක් හා ජංගම දුරකථන පහක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.
මොරගහහේන, වීදියගොඩ ප්‍ර‘දේශයේ මත්කුඩු ජාවාරමක් සිදුකෙරෙන බවට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එම ප්‍ර‘දේශයට ගොස් පරීක්ෂණ පවත්වා තිබේ.
එහිදී එම නිවසේ සිට කහතුඩුව, දියකඩ ප්‍රදේශයට පැමිණි තරුණයෙකු සන්තකයේ තිබී මත්කුඩු පැකට් 40ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදීත් සැකකරුවන් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරුවන්ගෙන් එක් අයෙකු රුපියල් 16,000ක මුදලකට අදාළ නිවස කුලී පදනම මත ලබාගෙන ඇති බවත්, වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සිදුකරන බව ඔහු නිවසේ හිමිකරුට පවසා ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලිස් නිලධාරීන් නිවස වටලන බව දැනගත් සැකකරුවන් මත්කුඩු විශාල ප්‍රමාණයකට ගිනි තබා ඇති බවත්, නිවසේ සඟවා තිබියදී අලෙවියට සූදානම් කර තිබූ මත්කුඩු පැකට් තොගයක් සොයාගත් බවත් පොලීසිය පැවසීය.
මීට සති තුනකට පමණ ඉහතදී අදාළ නිවස කුලියට ගත් සැකකරු, තම කුඩා දරු දෙදෙනාගේ ආරක්ෂාවට යැයි පවසා තමන් ලවා නිවස ඉදිරිපිට තාප්පය ඉදිකරවා ගත් බව නිවසේ හිමිකරු පොලීසියට පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මත්කුඩු සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකුගේ ගෝලයෙකුද සිටින බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
සැකකරුවන් හා නඩු භාණ්ඩ හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ