(UPDATE) පාකිස්තානයේ කරච්චි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආයුද සන්නද්ධ පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 23 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
හමුදා ප්‍රකාශක පවසා සිටියේ, ආයුද සන්නද්ධ පුද්ගලයන් 10ක් පමණ ජින්නා ගුවන් තොටුපොළේ පැරණි පර්යන්තයට ප්‍රහාරය එල්ල කළ බවයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදා කමාන්ඩෝ භට පිරිස් ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර, පැය 5ක පමණ වෙඩි හුවමාරුවකින් පසු සියලු සියලු සටන්කාමීන් ඝාතනය කරමින් ගුවන් තොටුපොළේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවූ බව ආරක්ෂක අංශ පවසයි.
එමෙන්ම, ගුවන් තොටුපොළ පර්යන්තයේ සිදුවන සියලු මෙහෙයුම් නවතා දමා ඇති අතර, ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත් ගුවන් තොටුපොළේ සිටි කාර්යමණ්ඩලය හා මගීන් මේ වනවිටත් ඉවත් කර ඇති බව වාර්තා වන අතර, තවත් පුද්ගලයන් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් වැඩි දෙනෙකු ගුවන්තොටු පොළ ආරක්ෂකයන් හා සේවකයන් බව පැවසෙයි.
මෙම ප්‍රහාරයේ වගකීම පාකිස්තාන තලේබාන් සංවිධානය භාරගෙන තිබේ.