කථානායකවරයාගේ තීන්දුවට විරෝධය පළකර ආණ්ඩුපක්ෂය සභාගැබෙන් පිටව නොගිය බවත් කථානායකවරයා ඉවත් කිරීමට කිසිදු මන්ත්‍රීවරයෙකු යෝජනා කර නොමැති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ අද (15දා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු විරුද්ධ පක්ෂයේත් වාඩි වී සිටිනවා. අපි ඒ කණ්ඩායමත් ආණ්ඩුපක්ෂය පැත්තට කැඳවලා මේ ඇතිවුණ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්න එළියට ගියා.කථානායකතුමාට විරුද්ධ වුණා නම් අපට සභාව මැද්දට පැනලා ඒකාබද්ධ විපක්ෂය හැසිරෙනවා වගේ කෑගහලා රංගනයක් කරන්න තිබුණා.
විරුද්ධතාව ප්‍රකාශ කරනවා කියන්නේ එළියට පැනලා කෑගහන එකට. නමුත් අපි එළියට ආවේ මේකට මොකක්ද කරන්නේ කියලා කතාකරගන්න. ඒ වෙලාවෙදිම කථානායකතුමා සභාව කල්දැම්මා. කිසිවිටක විරෝධය දැක්වූයේ නැහැ.
කථානායකතුමාගේ තීන්දුවට විරෝධය පළකිරීමක් සිදුවුණේ නැහැ. නමුත් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසන්සුන්තාවක් ඇතිවුණා අවස්ථා ගණනාවක්ම එකදිගට කතා කරන්නට විරුද්ධ පක්ෂයට අවස්ථාව ලැබුණු නිසාත්, ඒ අතර අපේ අයට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව නොලැබුණ නිසාත්.
පාර්ලිමේන්තුව ආරම්භක අවස්ථාවේදී හැමදාම කාලය නාස්තිකරමින් විරුද්ධ පක්ෂය තමන්ගේ නැතිවුණ බලය ලබාගැනීම සඳහා විවිධ රංගනවල යෙදෙනවා. පාරට බැහැලා උද්ඝෝෂණ කරමින් මගී ජනතාව දිගින් දිගටම අපහසුතාවට පත් කරනවා. පාර්ලිමේන්තුව තුළ සභාවේ කටයුතු අකර්මණ්‍ය කිරීමට සංවිධානාත්මකව හැමදාම කටයුතු කරනවා.
පාර්ලිමේන්තුවට ගැටලුවක් ඇති නොකර එළියට යන එක තමයි හොඳම දේ. අපි එළියට ගිහින් ඇතුළට එන්න කලින් සභාව කල් තියලා* යැයි කීවේය.