කඩුවෙල ශ්‍රී ලංකාවේ දෙවැනි අගනගරය ලෙස සංවර්ධනය කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. කඩුවෙළදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
"පහුගිය අවුරුදු 30 කාලය ඇතුළත කොළඹ නගරයේ ජනගහනය වෙනස් වෙලා නැහැ. 1991 දීත් කොළඹ නගරයේ ජනගහනය හයලක්ෂ පනස්දාහයි. දෙදහස් දොලහෙදිත් කොළඹ නගරයේ ජනගහනය හයලක්ෂ පනස් දාහයි. එතකොට කොහේද නාගරීකරණය වෙන්නේ. නාගරිකකරණය වෙන්නේ කඩුවෙල. මාලබේ, හෝමාගම, කැස්බෑව ආදී ප්‍රදේශ. කොළඹ තවදුරටත් අපේ අග නගරය හැටියට තියෙන කොට දෙවෙනි අග නගර ගණනාවක් මේ වටපිටාවේ ගොඩනැංග්වීමට අපි බලාපොරොත්තු වෙනවා. කඩුවෙල රටේ දෙවෙනි අග නගරයක් ලෙස වැඩිදියුණු කිරීමට අපි ඉදිරි වසරේදි පියවර ගන්නවා.
ඉදිරියේදී කොළඹ නගරය සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක් කඩුවෙලට ගෙන එනවා. එහි පළවෙනි පියවර අපි කැළණි නව පාලමත් එක්ක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එහි දෙවන පියවරට ඉඩහසර විවෘත කරමින් ඉන්නවා. අපි හිතනවා ඉදිරි අවුරුදු පහ හය ඇතුළත ඒ කාර්යය අපට සඵල කර ගන්න පුළුවන් වෙයි කියලා. මාලබේ කඩුවෙල සිට කොළඹ දෙසට තිබෙන විශාල මාර්ග තදබදය අඩු කිරීම සඳහා සැහැල්ලූ දුම්රිය සේවයක් මේ ප්‍රදේශය හරහා ඇති කරන්නත් අපි ඉදිරියේ සැලසුම් කරලා තියෙනවා. " යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.