කටුනායකට 01 දා සිට නව නීති
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන්සේවාවන්ට ආරක්ෂාව සැපයීමේ අරමුණින් 2017 ජුනි 01 වැනිදා සිට නව ආරක්ෂක පටිපාටියක් ක්‍රියාත්මක කරන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු එච්. එස්. හෙට්ටිආරචිචි මහතා අද (24දා) ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේය.
නව ආරක්ෂණ ක්‍රියාපටිපාටි අනුව ගුවන් මගියෙකුට තම අත්බෑගය තුළ ගෙන යාහැකි දියර වර්ග, ස්ප්‍රේ වර්ග සහ ජෙල් වර්ග යන කාණ්ඩ වලට අයත් ද්‍රව්‍යවල ප්‍රමාණයන් සීමාකිරීමට මෙම පියවර ගෙන තිබේ.
ජලය, බීම වර්ග, සුප්වර්ග, ජෑම්වර්ග, සෝස්වර්ග, තලපවර්ග, දියරවර්ග, ක්‍රීම්වර්ග, බෙහෙත්වර්ග, තෙල්වර්ග, විලවුන්වර්ග, ස්ප්රේවර්ග, ජෙල්වර්ග, වායු පීඩනයට ලක් කරන ලද බහාලුම්, රැවුල බාන පෙණ වර්ග, වෙනත් පෙණ වර්ග, ඇස් පිහාටු ආලේපන, කාමර උෂ්ණත්වය පවත්වා ගෙනයාහැකි සාන්ද්‍රණයන් මෙම දියර වර්ග, වාෂ්ප ශීලී ද්‍රව්‍ය සහ ජෙල් වර්ග යන කාණ්ඩවලට අයත් වන බවද ඔහු කීය.
ඒ අනුව අදාළ කාණ්ඩ සියල්ලේම ප්‍රමාණය ලීටර් එකට නොවැඩි වියයුතු අතර, දියර සහිත බහාලුම් 20X20 ප්‍රමාණයේ විනිවිද පෙනෙන නැවත වැසිය හැකි පොලිතීන් බෑග්වල ඇසුරුම් කළ යුතුය. එක් මගියෙකුට ගෙනයාහැක්කේ එවැනි බෑග් එකක් පමණකි.
මෙයට වැඩි ප්‍රමාණයක් රැගෙනයාමට අදහස් කරන්නේනම් ඒවා ගුවන් ටිකට් පත්කවුළු වෙත බාරදෙන ගමන් මලුවල අසුරා ගෙන යා හැක.
මීට අමතරව බෙහෙත් වර්ග, කුඩා ළමුන්ගේ ආහාර චක්‍ර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇත්නම් ඒවා වෛද්‍යවරයෙකු ලවා සහතික කරවා ගෙන බෙහෙත් වට්ටෝරුව තමා සන්තකයේ තබා ගත යුතුය.
ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පුවලින් මිලදී ගත් භාණ්ඩ සඳහා අසුරණ එම සාප්පුවලින් නොමිලේ ලබාදෙයි. අදාළ නීති රීති එම භාණ්ඩවලට බලනොපාන අතර, අදාළ රිසිට්පත් ළඟ තබා ගත යුතුය. පිළිගත හැකි සාධක ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ගුවන් මගීන්ගේ භාණ්ඩ ගුවන්යානය තුළට ගෙනයාම තහනම් කෙරෙනු ඇත.
මෙම අවස්ථාවට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු වන එච්. එස්. හෙට්ටිආරච්චි, ආරක්ෂක ප්‍රධානී ධම්මික විජේසූරිය, සිවිල් ගුවන් සේවා අධිකාරියේ ආරක්ෂක ප්‍රධානී පී. ඒ. ජයකාන්ත යන මහත්වරු සහභාගිවූහ.
ගුවන්තොටුපොළ දීපා අදිකාරි/කටුනායක ටී.කේ.ජී.කපිල/සීදූව ප්රසාද්මුතුකුඩ/අංජන ශ්‍රී කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

