රුපියල් කෝටි 750කට අධික මුදලක් වැයකර නවීකරණය කළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථය ලබන මස 06 වැනිදා සුබ මොහොතනින් විවෘත කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
මෙම ගුවන් ධාවන පථය කටයුතු සැලසුම් කරන ලද කාලයට පෙර නිමකිරීමට ලැබීම විශාල ලාභයක් බවද, ධාවන පථයේ නවීකරණය කිරීමේදී පළල වැඩි කිරීම හේතුවෙන් මෙතෙක් කාලයක් මෙරටට නොපැමිණි ලෝකයේ තිබෙන විශාල ප්‍රමාණයේ අතිනවීන ගුවන් යානා පවා ගොඩබැස්සවීමට අවස්ථාව ලැබීම අප රටට ලැබෙන සුවිශාල වරප්‍රසාදයක් වන බවද අමාත්‍යවරයා පැවසීය.
කුරුණෑගල පිහිටි ඒ මහතාගේ නිවසේදී අද (30දා) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ධාවන පථය නවීකරණය කළ කාලසීමාවේදී පනවා තිබූ ගුවන් යානා ක්‍රියාත්මක වීමේ කාලසීමාව මේ අනුව ඉවත් වී ඉන් පසුව පැය 24 මුළුල්ලේම කටුනායක ගුවන්තොටුපළ සුපුරුදු ආකාරයටම ක්‍රියාත්මක වන බවද අබේසිංහ මහතා පැවසීය.
මේ වනවිට දිනකට ගුවන් යානා 150ත් 175ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බවත්, නවීකරණ කටයුතුවලින් පසුව එම ගුවන් යානා ප්‍රමාණය තවත් ඉහළ යන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.