ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා තමන් නිතර රැගෙන යන තෑගි භාණ්ඩ අතර කුඩා බුදු පිළිමයක්ද පවතින බව අනාවරණය කර තිබේ.
යූටියුබ් ජාලයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ජනාධිපතිවරයා තමාගේ දේශපාලන ගමන්මගේදී විවිධ අවස්ථාවල මුණ ගැසුණු පිරිස් ලබාදුන් තෑගි භාණ්ඩ අතර මෙම බුදු පිළිමයද නිරන්තරයෙන් තමා ළඟ තිබෙන බව පවසා ඇත.
ඔබාමා වැඩිදුරටත් පවසන්නේ තමාට මුණ ගැසුණු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් මෙම කුඩා බුදු පිළිමය තමා වෙත පිරිනැමූ බවයි.
මීට අමතරව, පාප් වහන්සේ විසින් පිරිනැමූ කුඩා කොන්තයක්, හින්දු භක්තිකයෙකු විසින් ලබාදුන් කුඩා හනුමාන් දේව රූපයක්, ඉතියෝපියානු සංචාරයේදී පිරිනැමුණු කුඩා කුරුසයක් මෙන්ම, 2007 මැතිවරණ සමයේදී යතුරුපැදිකරුවෙකු විසින් පිරිනැමූ පෝකර් ක්රීඩා පතුරක්ද ඒ අතර වෙයි.
තමා අන්ධභක්තිකයෙකු නොවන බව පවසන ඔබාමා, මේ දේවල් නිරන්තරයෙන් තමා ළඟ තිබිය යුතු බවට හැඟීමකින් තමා පසුවන බවද මෙහිදී පවසා තිබේ.