ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු තැනීමට දකින සිහින දවල් සිහින පමණක් බවත්, රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කෑ පිරිස් හට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ, මාතලේ වාසලකෝට්ටේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ඊයේ (18දා)පැවැති ගොවි හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව මේ ආණ්ඩුව තව වසර ගණනාවක් කරගෙන යනවා. අද කෑගහන ඒකාබද්ධ විපක්ෂය දෙවරක් ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිසක්.
පසුගිය රජය විසින් අපට උරුම කරපු සයිටම්, උමා ඔය සහ කුණු කඳු නිසා මේ රජය අපහසුතාවන්ට පත්ව තිබුණත් ඒවා අපි අභියෝග ලෙස බාර ගෙන සාධාරණ ලෙස විසඳීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා.
එදා රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ රටේ භූමිය විදේශිකයන්ට බන්දේසියේ තියලා දුන්නේ. එතකොට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් තිත්ත බෙහෙත් බිව්ව ගොලූවෝ වගේ සිටියා මිසක් කතා කළේ නැහැ. කතා කළානම් වෙන දේ ඒ පිරිස්ම දන්නවා.
අද ජනතාව කෙරෙහි මහා කරුණාව පහලවෙලා වගේ කතා කරනවා. අපි කිසිම දුෂණයකට ඉඩ තියන්නේ නැහැ. ඒ පිළිබඳව අපේ පක්ෂයේ නායක අගමැතිතුමා පැහැදිලිව කිව්වා. මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි එක්ක සෙල්ලම් කිරීමට කිසිම අයෙකුට බැහැ කියලා.
අපි මේ මුදල් නිසි කළමනාකරණයකින් යුතුව ජනතාවට ප්රතිලාභ ලැබෙන ලෙස දිය යුතුයි. මේ සංවර්ධනය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අපි යොදා තියනවා. ඒ පිළිබඳව කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒ නිසා මේ රජය පෙරළන්න කිසිම ජගතෙකුට බෑ." යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට මාතලේ සහකාර ගොවිජන සේවා කොමසාරිස් පී.ජි. සෝමරත්න, කෘෂිකර්ම පරේයෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
නාඋල - ඉන්දික අරුණ කුමාර