"රජයේ සිටින ප්රබලයෙකු ප්රභාකරන්ගේ මවිල් ගහක් තරම් නොවටිනා බවට මා කියූ කතාව ලොකු ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා. එහෙනම් මම අද කියන්නම් එයා මර්වින් සිල්වාගේ මයිල් ගහක් තරම් වටින්නේ නැහැ කියලා" යැයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ දෙහිවල මැතිවරණ කොට්ඨාසයේ ප්රජාතන්ත්රවාදී පක්ෂ‘ බල මණ්ඩල සාමාජිකයන්ට පත්වීම් ලිපි භාරදෙන උත්සවයකදීය. මෙය සම සංවිධායිකා රන්මලී ගුණවර්ධන මහත්මියගේ සංවිධානත්වයෙන් පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා, 'මර්වින් සිල්වා වුවත් එයාගේ සතුරන්ට හිරිහැර කළත්, සතුරන්ගේ දරුවන්ට සහ ඥාතීන්ට කරදර කරන්නෙ නැහැ. ඒත් ප්රජාතන්ත්රවාදී රටක ප්රජාතන්ත්රවාදී විදිහට ජනාධිපතිවරණයට තරග කළ මට පමණක් නොවේ මගේ දරුවන්ටත් හිරිහැර කළා. මගේ එක් දියණියක් විවාහ වෙලා වසර දහයක් වෙනවා. ඒත් මේ පාලකයන් එයාට තමන්ගේ සැමියා සමග වසර දෙකකට වඩා එකට සිටීමට ඉඩ දුන්නේ නැහැ. දරුවෝ ඉන්න පාලකයෝ මේ ආකාරයටද නීතිය ක්‍රියාත්මක කරන්නෙ.
රටක යුද්ධයක් නිමැවූවා යැයි කියන්නෙ එම රටේ යළිත් නීතිය සහ සාමය එරට ක්‍රියාත්මක වන බවයි. ඒත් ලෝකය හමුවේ සාමකාමී රටක් පවතින බව කීමට උත්සාහ කරන මේ රජය මෙරට සංචාරය කිරීමට පැමිණි විදේශීය කාන්තාවන් දූෂණයට ලක්කර ඇයගේ පෙම්වතා මරා දැමූ නගර සභා සභාපතිට සැඟවී සිටීමට උපකාර කරනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙරට සංචාරක ව්‍යාපාරය ජනප්‍රිය කළ හැකිද?
හිටපු හමුදාපතිවරයා ලෙස මම නාගරික ජනතාව අතර ජනප්‍රිය වුවද ග්‍රාමීය ජනතාව මට බියක් දක්වන බව මට කෙනෙක් කීවා. මම එතැනයි එදා එල්.ටී.ටී.ඊ පණිවිඩ මගින්ද ඔවුන් මට බියක් දැක්වූවා. ජනතා විමුක්ති පෙරමුණද භීෂණ කාලයේ මට මහත් බියක් දැක්වූවා. එහෙත් මා අත්අඩංගුවට ගත් එකම සාමාජිකයෙකු හෝ මරා දැම්මේ නැහැ. එදා මා අත්අඩංගුවට ගත් ත්‍රිකුණාමලය ප්‍ර‘දේශයේ තරැණයන් දෙදෙනෙක් පසු කලෙක ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවටද පැමිණියා.' යැයි සඳහන් කළේය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, අනෝමා ෆොන්සේකා, රත්මලාන එම පක්ෂ සංවිධායිකා රුවන්ති කාරියවසම්, දෙහිවල එම පක්ෂ සම සංවිධායිකා රන්මලී ගුණවර්ධන යන මහත්ම මහත්මීහුද සභාව ඇමතූහ.
අමිල සංකල්ප/ඉන්දික මනෝජ්