එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ගුරුවරියකගේ හා ගුරුවරයෙකුගේ විවාහ මංගල උත්සවයක් එම විද්‍යාලයේ පන්ති කාමරයකදී පැවැති අයුරු ඊයේ (26දා) දැකගත හැකි විය.
අදාළ ගුරු යුවළ පසුගිය දිනෙක යුග දිවියට පිවිස ඇති බවත්, සිය සහෝදර ගුරුවර ගුරුවරියන්ද වෙනුවෙන් මෙසේ ඊයේ දින මංගල සාදයක් සංවිධානය කර ඇති බවත් වාර්තා විය. ඒ අනුව ඊයේ පාසල නිමවීමෙන් අනතුරුව පස්වරු 2.00 සිට පස්වරු 4.00 පමණ දක්වා පාසලේ ප්‍රධාන ශාලාව අසල පන්ති කාමරයක මෙම මංගල උත්සවය පැවැත්විණි.
ආයතන සංග්‍රහය අනුව එකම විද්‍යාලයක ගුරුවරුන් දෙපළකට විවාහ වීම තහනම් වන නමුත්, එම නීතියද කඩකරමින් පාසල තුළ ගුරුභවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විවාහ උත්සවය පවත්වා තිබේ.
අදාළ පන්ති කාමරය උත්සව ශාලාවක් ලෙස සකස් කර ඇති ආකාරයත්, ආහාරපාන සපයන ආයතනයක් මගින් සාදය සඳහා ආහාරපාන සපයා තිබූ ආකාරයත් එහි ගිය අපට දක්නට ලැබිණි. මෙම සාදය පැවැත්වෙන අවස්ථාවේදී නිවාසාන්තර ක්‍රීඩා සඳහා පුහුණු වෙන සිසු සිසුවියන්ද පාසල තුළ රැඳී අයුරුද අපට දැකගත හැකි විය.
මංගල සාදය හේතුවෙන් අදාළ පන්ති කාමරයේ ඊයේ (26) දිනයේ ඉගැන්වීම් කටයුතුද සිදුනොකෙරුණු බව අපට වාර්තා විය.මේ පිළිබඳව තොරතුරු ලබාදුන් ගුරුවරුන් කිහිපදෙනෙකුම පවසා සිටියේ, පාසල තුළ මෙවැනි උත්සව සිදුකිරීම කනගාටුවට කරුණක් බවයි. පාසලක් තුළ පෞද්ගලික උත්සව පැවැත්වීම කිසිසේත්ම නොගැළපෙන බවත්, පාසල් භූමිය තුළ මත්පැන් පානය කරමින් ගුරුවරුන් මේ අයුරින් සාද පැවැත්වීම වැරදි ආදර්ශයක් බවත් ඔවුහු සඳහන් කළහ.
මේ පිළිබඳව දුරකථනයෙන් කළ දැනුම්දීමකදී තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්යක්ෂ එච්.එම්.ජී.ඩී.ඩී හේරත් මහත්මිය පවසා සිටියේ, කිසිදු හේතුවක් මත පාසල තුළ පෞද්ගලික උත්සව පැවැත්වීමට ඉඩක් නොමැති බවත්, තමන් මේ පිළිබඳ සොයාබලන බවත්ය. එහෙත් රාජකාරි කටයුත්තක නිරත වන බැවින් මේ සම්බන්ධයෙන් සොයාබැලීමට එම මොහොතේ අදාළ පාසලට පැමිණිය නොහැකි බවද ඇය පවසා සිටියාය.
මේ පිළිබඳව කළ විමසීමකදී එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ විදුහල්පතිවරයා පවසා සිටියේ, සිය අවසරය මත මෙම උත්සවය පැවැත්වුණ බවත්, එය ගුරුවරයෙකුගේ හා ගුරුවරියකගේ විවාහ මංගල උත්සවයක් නොව පාසලේ ආදී ශිෂ්‍යාවක වන ගුරුවරියකගේ විවාහ මංගල උත්සවයක් බවත්ය. ඇය ආදී සිසුවියක ලෙස ඇගේ ගුරුභවතුන්ට මෙම මංගල සාදය පැවැත්වූ බවත්, මෙම උත්සවය පාසල නිම වී පැවැත්වීම නිසා කිසිදු ගැටලුවක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය. තවද මෙම උත්සවයට මත්පැන් රැගෙන විත් නොතිබූ බවත්, කෑම වේලක් ලබාදීම ගැටලුවක් නොවන බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.