ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට මේ වනවිට පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය ධුර දැරූ ප්‍රබලයන් පිරිසක් ඉල්ලා ඇතැයි 'අද' ට වාර්තා වේ.
මෙම පිරිස අතර පසුගිය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු, කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළත් බවද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන පරිදි පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් පිරිස් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසට මෙවැනි ඉල්ලීම් සිදුකර තිබෙන්නේ මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසාය.
එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට ඉල්ලුම් කර ඇති හිටපු කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනාගෙන් එක් අයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීම මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර ඇතැයිද සඳහන් වේ.
මේ පිළිබඳව %අද^ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතාගෙන් සිදුකළ විමසීමේදී සභාපතිවරයා එම පුවත තහවුරු කළේය.
“පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය ධුර දැරූ කිහිප දෙනෙකුම ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට ඉල්ලීම් කර තිබෙන බව සත්‍යයක්. එහෙත් මෙම ඉල්ලීම් පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නෑ* යැයිද එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.