එජාපයේ දරදිය ඇද තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුර හෝ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූ තරුණ මන්ත්‍රීවරුන් තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුර නොලැබීම නිසා ඉතාම අසහනයට පත්ව සිටින්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අදහස් දැක්වීය.
අද (26දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා,
“සති දෙකක් පුරා අඛණ්ඩව පෙන්වූ ඇමති මාරුව නාට්‍යය, නොඑසේ නම් ආණ්ඩුවේම ඇමතිවරුන් පැවසූ විකට නාට්‍යය දැන් අවසන්. මේක හරියට කන්දක් විලි ලා මී පැටියෙකු වැදුවා වගේ වැඩක්. ජනපතිතුමා පසුගිය කාලයේ කිව්වේ ඡන්දයෙන් පස්සේ ආර්ථිකය මගේ අතට ගන්නවා කියා. ආණ්ඩුව තුළ රැඩිකල් වෙනසක් කරනවා කියා. ජනතාවත් ඇස් දල්වා මේ රැඩිකල් වෙනස දෙස බලා හිටියා. අන්තිමට මොකද වුණේ? ආර්ථිකය සම්බන්ධ සියලුම අමාත්‍යාංශ තවමත් තිබෙන්නේ එජාපය අතේ. නටපු තොවිලයකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. ඇමති මණ්ඩල සංශෝධනයෙන් ජනතාව සතුටුත් නෑ. ඇමතිවරුන් සතුටුත් නෑ. කවුරුත්ම සතුටු වී නෑ.
එජාපයේ දරදිය ඇදලා තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධූරවත් ලැබේවි කියලා බලාපොරොත්තු වූ තරුණ මන්ත්‍රීවරුන් තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුර නොලැබීම නිසා ඉතාම අසහනයට පත් වී සිටිනවා. මේ නිසා එජාපයේ දෙවෙනි පිපිරීම අත ළඟයි. ඒ වගේම අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව යළි කරළියට ගෙන ආ යුතුයි. එහෙම ගෙන එනවා නම් අපි අත්සන් කරන්න ලෑස්තියි කියණ පණිවුඩය මෙතෙක් අගමැතිතුමන් රැකගැනීම සඳහා කටයුතු කරමින් සිටි එජාපයේ තරුණ මන්ත්‍රීවරුන්ගෙන් අපට ලැබෙනවා” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.