පළාත් පාලන මැතිවරණයේ ජනතාවගේ ඡන්දය භාවිත කිරීම හරහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට හා ආණ්ඩුවට එරෙහිව ලබාදුන් තීන්දුවක් ලෙස තමන් දකින බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව ප්‍රතිඵලය පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් එක්කරමින් ඔහු මේ බව පැවසීය.
එම මහනගර සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් අතර එක්සත් ජාතික පක්ෂය දෙවැනි ස්ථානයට පත්විය. 2015 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය භාවිත කළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වූ බවත්, එය දුර්වලතාවක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. එසේම එක්සත් ජාතික පක්ෂය පිරිසුදු කරමින් ශක්තිමත් කිරීමට සිය සහයෝගය දෙන බවත් ඔහු පවසයි.
“මෙම තීන්දුව ප්‍රාදේශීය දේශපාලනයට එරෙහිව ලබාදුන් තීන්දුවකට වඩා ජාතික වශයෙන් අපගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට සහ ආණ්ඩුවට එරෙහිව ලබාදුන් තීන්දුවක් ලෙස මා විශ්වාස කරන අතර, එය අප විසින් කෝට්ටේ වෙනුවෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට එරෙහිව ලබාදුන් තීන්දුවක් ලෙස විශ්වාස නොකරමි.
2015 මහ මැතිවරණයේදී අප වෙත ඡන්දය භාවිත කළ බහුතර ජනතාවකගේ අපේක්ෂාවන් ඉටුකිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකිව තිබේ. එය අපගේ දුර්වලතාවක් වන අතර, එම යථාර්ථය පිළිගැනීමට තරම් ශක්තියක් අපට තිබිය යුතුය. අපි ජනතාවට පොරොන්දු වූ කරුණු ඉටුකිරීමට මම උපරිමයෙන් කටයුතු කරමි. අප කෙරෙහි විශ්වාසය තබමින් ඡන්දය ලබාදුන් කෝට්ටේ සහ ශ්‍රී ලංකාවාසී ජනතාවට මා ස්තුතිවන්ත වන අතර, එක්සත් ජාතික පක්ෂය පිරිසුදු කරමින් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට මා සූදානම් බව අවධාරණය කරමි.
ජනතාවගේ තීන්දුවට මා හිස නමා ආචාර කරන අතර නැවතත් ජනතාව තුළ විශ්වාසය ගොඩ නැගීමේ අභියෝගය හමුවේ නොසැලී කටයුතු කරමි. ඒ වෙනුවෙන් මා ජාතික තලයේදී මැදිහත්වීමට කටයුතු කරන අතර, අපගේ නාගරික මන්ත්‍රීවරුන්ට ඒ වෙනුවෙන් මගපෙන්වීමට කටයුතු කරමි. මා සෑමවිටම සදාචාරවත් දේශපාලනයක් වෙනුවෙන් කටයුතු කරන අතර, එවැනි දේශපාලනයක් සිදුකරන පක්ෂ විපක්ෂ ඕනෑම අයෙකුට මාගේ සහයෝගය ලබාදෙනු කැමැත්තෙමි.”