එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දේශබන්දු කරු ජයසූරිය මහතාගේ නම ප්‍රකාශයට පත් කරන ලෙසත්, එසේ නොමැති වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ සියලුම කටයුතුවලින් එක්සත් භික්ෂු පෙරමුණ ඉවත් වන බවත් එක්සත් භික්ෂු පෙරමුණේ අනුශාසක පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක හිමියන් රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් දන්වා තිබේ.
සියලුම ජාතීන්, සියලුම ආගම්වල හා පක්ෂයේ කැමැත්ත තිබෙන එකම සුදුස්සා කරු ජයසූරිය මහතා බවත්, මේ නිසා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ප්‍රකාශ කරන ලද පොදු අපේක්ෂකයා නම් කිරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය සතු බවට සඳහන් කාරණය මූලික කර ගෙන මෙම ඉදිරිපත් කිරීම සිදුකරන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා ඇත.
ජනාධිපතිවරණයක් පවත්වන බවට ප්‍රකාශයට පත්කිරීමට තිබෙන්නේ ඉතාමත් සුළු කාලයක් වුවත් එක්සත් ජාතික පක්ෂය තවමත් නිදියහනේ පසුවෙන බවත්, එහෙත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ආණ්ඩුව ගව්ගණනක් දුරට මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකර තිබෙන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
මේ නිසා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය කැමැත්ත සහ සියලුම ජාතීන් සියලුම ආගම් හා පක්ෂ සියලුම කණ්ඩායම්වල කැමැත්ත පළවී තිබෙන දේශබන්දු කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස වහාම නම් කරන ලෙසත්, එසේ නොමැති වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ සියලුම කටයුතුවලින් එක්සත් භික්ෂු පෙරමුණ ඉවත් වන බවද පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක හිමියන්ගේ අත්සනින් යුතු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.