වසර 27ක් රාජ්‍ය කර හදිසියේ අභාවප්‍රාප්ත වූ උස්බකිස්තාන ජනපති ඉස්ලාම් කරිමෝව්ගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් සමර්කාන්ද් නගරයේදී පැවැත්විණි.
උස්බකිස්තාන තෂ්කෙන්ට් අගනගරයෙන් ජනාධිපතිවරයාගේ සිරුර රැගෙන යනවිට දහස් ගණන් ජනයා මග දෙපස සිට ඔහුගේ දේහය වෙත මල් වීසි කරන ආකාරය දැකගත හැකි වූ බව විදෙස් වාර්තා පවසයි.
ආසියාවේ ඒකාධිපති නායකයෙකු ලෙස ප්‍රකට කරිමෝව් පසුගිය සතියේ හදිසියේ රෝහල්ගත කර තිබුණේ මොළයට ලේ ගමනාගමනය කිරීම දුර්වල කළ හදිසි අඝාත තත්ත්වයක් හේතුවෙනි.
කෙසේ වෙතත්, අද (03දා) පැවති අවමංගල්‍ය උත්සවය අවස්ථාවේදී පවා රට තුළ අස්ථාවර බවක් පැවතියේ තමාගෙන් පසුව රටේ නායකත්වය වෙනුවෙන් කරිමෝව් කිසිවෙකු පත්කර නොසිටි නිසාය.
කරිමෝව්ගේ උපන් ගම වන සමර්කාන්ද් හි අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු එරට අග්‍රාමාත්‍ය ෂෙව්කට් මිර්සියෝව් විසින් සංවිධානය කර තිබුණි.
2003 වසරේ සිට බලයේ සිටින මිර්සියෝව් මෙන්ම, උප අගමැතිවරයා ලෙස කටයුතු කරන රස්ටම් අසිමෝව්ද උස්බකිස්තානයේ ප්රමුඛ දේශපාලඥයන් දෙදෙනෙකු වෙයි.
කෙසේ වෙතත්, අවංගල්‍ය උත්සවයෙන් පසුව එරට අනාගතය කවරයෙකු අතට පත්වන්නේද යන්න තීරණය කෙරෙනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
උස්බකිස්තානය සියවස් කාලකට වඩා පාලනය කළ නායකයාට ගෞරව දැක්වීම සඳහා දින තුනක ශෝක කාලයක්ද එරට ප්‍රකාශයට පත්කර තිබුණි.
ඔහුගේ අභාවය පිළිබඳව ඊයේ දිනයේදී රජය විසින් නිවේදනය කිරීමට පෙර තුර්කි අගමැතිවරයා ඔහුගේ මරණය පිළිබඳ ලෝකය හමුවේ පවසා තිබුණි. එමෙන්ම, ජෝජියානු ජනාධිපතිවරයාද ඒ අතර විය.
කෙසේ වෙතත්, පසුව එරට රජය විසින් සිය නායකයාගේ අභාවය නිල වශයෙන් පවසා සිටියේ පසුගිය සතියේ දරුණු ආඝාත තත්ත්වයකින් පසුව රෝහල්ගත කළ කරිමෝව් යළි ප්‍රකෘති තත්ත්වයට නොපැමිණි බවයි. ඔහුගේ හදවත දෙවැනි වතාවටත් නැවතුණු බවත්, විදෙස් වෛද්‍යවරු පවා ඔහු බේරාගැනීමට පැමිණ සිටියත් ඉන් ඵලක් නොවූ බව රජය පවසා තිබුණි.
රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වෙදෙව්, ටජිකිස්තාන සහ ටර්ක්මේනිස්ටාන් යන රටවල රාජ්‍ය නායකයන්ද කරිමෝව් වෙත අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි හිටපු සෝවියට් රාජ්‍ය නායකයන්ය.
බටහිර ජාතීන් විසින් කරිමෝව් ඒකාධිපති නායකයෙකු ලෙස සඳහන් කළත් ඔහු මධ්‍යම ආසියාව තුළ ආරක්ෂාව හා ස්ථාවරත්වය රැකගැනිමට දායක වූ ශ්‍රේෂඨ නායකයෙකු ලෙස රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.