උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී බණ්ඩාරවෙල ප්‍රදේශයට දැනට පැන නැගී ඇති පාරිසරික ගැටලු පිළිබඳව මුලික කරුණු විමර්ශනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය මගින් ඊයේ (27දා) අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇතැයි මහවැලි රාජ්‍ය අමාත්‍ය හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේය.
ඒ අනුව මෙම අනුකමිටුව සඳහා මහවැලි රාජ්‍ය අමාත්‍ය හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, බස්නාහිර සංවර්ධන හා මෙගා ව්‍යාපෘති අමාත්‍ය පාටලී චම්පික රණවක, වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා යන අමාත්‍යවරුන් පත් කර තිබේ.
මෙම අනුකමිටුව ලබන සතියේ දී බණ්ඩාරවෙලට යාමට නියමිත අතර, එහිදී උමා ඔය ව්‍යාපෘතියෙන් හට ගෙන තිබෙන පාරිසරික ගැටලු නිරීක්ෂණය කිරීමටද නියමිතය.
එමෙන්ම එදින අදාළ පාර්ශ්ව සියල්ල කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමටද, මූලික කරුණු අධ්‍යයනයක නිරත වීමටද සැලසුම් කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.