අද (10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී උදෙන්ම ඡන්ද පොළට ගොස් සිය වටිනා ඡන්දය පාවිච්චි කර ඡන්ද ප්‍රතිඵලය සාමකාමීව භුක්ති විදින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමස්ථ ජනතාවගෙන් ඊයේ (09) විශේෂ ඉල්ලීමක් කළේය.
අද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේ ද කීය.
“අද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ සිට අප අලූත් ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව සෑම කොට්ඨාශයකටම නියෝජිතයෙක් තෝරා පත් කරගන්නවා.
ඒත් සමඟම කාන්තාවන්ට 25% ක අවම නියෝජනය ලබාදෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් 25% ක් කාන්තාවන් විය යුතුයි. මේ ක්‍රමය යටතේ අපි අනුපාත ක්‍රමය අනුවත් මන්ත්‍රීවරු තෝරා පත්කර ගන්නවා.
අලූත් මැතිවරණ ක්‍රමය යටතේ නාමයෝජනා භාරදුන් දිනයේ එම කටයුතු ඉතාම සාමකාමීව සිදු කළා. මැතිවරණ ව්‍යාපාරයත් යහපත් ව්‍යාපාරයක් ලෙස ඉතා සාමකාමීව සිදු කළා.
නමුත් මනාප ක්‍රමය ක්‍රියාත්මක වන කාලයේ අපි දුටුව ඒ ක්‍රියාවන් මේ ක්‍රමය යටතේ දකින්න නැහැ. කවුරුත් මියගොස් නැහැ. එමෙන්ම ප්රචන්ඩ ක්‍රියාවලද යෙදිලා නැහැ. මේ මැතිවරණයේදී දන්සැල් ආරම්භ කර නැහැ. බඩු භාන්ඩ බෙදාදීම් සිදු කර නැහැ. එදාට වඩා යහපත් ක්‍රමවේදයක් අද ක්‍රියාත්මක වෙනවා.
මේ ක්‍රියාදාමය පිටුපස ස්වාධීන මැතිවරණ කොමිසම සිටිනවා. ස්වාධීන මැතිවරණ කොමිසම ඡන්ද නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. පොලිසියට උවමනා උපදෙස් එම කොමිසම මඟින් ලබාදෙනවා. එමෙන්ම මාධ්‍යට උවමනා උපදෙස් දෙනවා. මේ ක්‍රමවේදය තුළ ආණ්ඩුවට ඡන්ද ව්‍යාපාර ගෙනයෑමට බලය පාවිච්චි කිරීමට උවමනාවක් නැහැ. ඒ නිසා මේ අලූත් ක්‍රමයේදී තමන්ගේ ඡන්දෙට වටිනාකමක් ලැබී තිබෙනවා.
මේ ක්‍රමය යටතේ මැතිවරණ අපේක්ෂකයින් පැමිණ ඡන්ද දායකයින් මුණගැසී සාකච්ඡා කරනවා. ඒ තුළින් නියෝජිතයින් සහ ඡන්ද දායකයින් අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. අපේ ඡන්ද දායකයින් බලාපොරොත්තු වුණ ක්‍රමවේදය මෙයයි.
අද ඡන්දය පැවැත්වෙනවා. උදෙන්ම ගොස් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන ලෙස මා සියළු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුවත් ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවත් සාමය ආරක්ෂා කරන්න.
සෑම විටම පොලිසිය ඇතුළු සාමය ආරක්ෂා කරන සියලූ දෙනාටත් මැතිවරණ රාජකාරීයේ නියැලී සිටින නිලධාරීන්ටත් තම පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ අනුව ඉතා සාර්ථක සාමකාමී මැතිවරණයක් අප පැවැත්වූ බව ලෝකයටම ප්‍රකාශ කළ හැකියි.
ඔබේ ඒ වටිනා අයිතිය පාවිච්චි කරන්න, එය ආරක්ෂා කරන්න, උදෙන්ම ඡන්ද පොළට යන ලෙස මා සියලූම ඡන්ද දායකයින්ගෙන් නැවත වරක් ඉල්ලා සිටිනවා.”