රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ විදෙස් ගමන් තහනම ඉවත් කර දුටු තැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාර උදයංග වීරතුංග මහතා කළ යුත්තේ විදෙස් ගමන් තහනම හෝ වරෙන්තු ආපසු කැඳවන මෙන් අධිකරණයෙන් ඉල්ලීම නොව අධිකරණයට හෝ ළඟම ඇති පොලීසියට බාරවීම බව පෙන්වා දුන්නාය.
2007 සහ 2008 වසරවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන පරීක්ෂණයේ සැකකරුවෙකු ලෙස උදයංග වීරතුංග මහතා නම් කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට මීට පෙර අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි.
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් මගින් වීරතුංග මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර ඇති වරෙන්තු ආපසු කැඳවන ලෙස සහ ඔහුට නියම කර ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබිණි.
එහිදී වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අදාළ නියෝගය නිකුත් කළාය.