උතුරේ පාසල් උදේ 8.00ට ආරම්භ කිරීමට අවධානය
උතුරු පළාතේ රජයේ සියලුම පාසල් 2018 වසරේ සිට උදෑසන 8 ට ආරම්භ කිරීමට උතුරු පළාත් සභාවේ අවධානය යොමුව තිබේ.
උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේෂ්වරන් කන්දයියා මහතා හමුවී පෙන්වාදී ඇත්තේ, උතුරු පළාතේ පාසල් උදෑසන 7.30 ට ආරම්භ වීමෙන් ගුරුවරුන් හා සිසුන් දූෂ්කරතා රැසකට මුහුණදී ඇති බවයි.
ඒ අනුව උතුරු පළාත තුළ ගම්බද සිසුන් සඳහා නගරයේ පාසල් සඳහා පැමිණීමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් උදෑසන 7.30 ට සිසුන් පාසලට පැමිණීමේදී උදෑසන ආහාර නොගෙන පැමිණෙන බවත්, ඒ හේතුවෙන් පාසැල් කටයුතු නිසි පරිදි සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවට ගුරුවරුන් දිගින් දිගටම තමන් දැනුවත් කරන බවද එම මන්ත්‍රීවරුන් පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.
එබැවින් පාසැල් ආරම්භ කරන වේලාව උදෑසන 8.00 ලෙස වෙනස් කරණ ලෙසද අදාළ මන්ත්‍රීවරුන් පිරිස විසින් පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම්දී තිබේ.
මේ පිළිබඳ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාද දැනුවත් කර ඇති අතර ඒ අනුව පළාත් ආණ්ඩුකාරවරයාගේද අනුමැතිය ඇතිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ප්‍රධාන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම්දී තිබේ.
කෙසේ වෙතත් ලබන වසරේදී පාසල් ආරම්භ කිරීමට ප්‍රථමව මේ පිළිබඳව අවසන් තීරණය ලබා දෙන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළ පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ.
යාපනය ප්‍රසන්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


