උතුරේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ලබාදෙන ලෙසට රජයට බලකරමින් සම අයිතිය ව්‍යාපාරය විසින් කොළඹ, කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ආරම්භ කර ඇති නිහඬ උද්ඝෝෂණයේ තෙවැනි දිනය වූ අද (19) දිනයේදී එයට කලාකරුවෝ පිරිසක් එක්ව සිටියහ.
මාර්තු 17වැනිදා ආරම්භ කළ මෙම නිහඬ උද්ඝෝෂණය23 වැනිදා දක්වා සතියක කාලයක් අඛණ්ඩව පැය 24 පුරා පැවැත්වෙන බව සමඅයිතිය ව්‍යාපාරය පවසයි.
දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීම, අතුරුදන්වූවන් සහ පැහැරගනු ලැබූ අය පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම, ජනතාවගෙන් රජය විසින් උදුරාගත් ඉඩම් යළි ඒවායේ හිමිකරුවන්ට ලබාදීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දන නීති වහා අහෝසි කිරීම යන සටන්පාඨ ඔස්සේ මෙම සත්‍යග්‍රහය පවත්වන බවද එම සංවිධානය පවසයි.
අද දිනයේදී එක්ව සිටි කලාකරුවන් ප්‍රකාශ කර සිටියේ උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන බවට පවසමින් වත්මන් රජය බලයට පැමිණියද මේ දක්වා එම පොරොන්දු ඉටුකර නැති බවයි.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ