සොරකම් කරන ලද අලි පැටවෙකු බව දැන එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට ධර්ම ප්රචාරක කටයුතු සඳහා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (08දා)අවසර දුන්නේය.
වස්සාන සමයේදී ධර්ම ප්රචාරක කටයුතු සඳහා වැඩම කරන ලෙස උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලෝකයේ විවිධ රටවල සිටින බෞද්ධයන්ගෙන් ආරාධනා ලැබී ඇති බැවින් ඒ සඳහා විදේශගතවීමට අවසර දෙන්නැයි උන්වහන්සේගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ලබන සැප්තැම්බර් මස 19 වැනිදා තෙක් විදේශගත වීමට මෙලෙස අවසර දුන්නේය.
2015 ජනවාරි මස 28 වැනිදාහෝ ඊට ආසන්න දිනයක කිරුලපන, ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේදී ලියාපදිංචි නොකළ හා බලපත්ර නොමැති අලියෙකු තම බාරයේ තබාගෙන සිටීම හාලියාපදිංචි නොකළ සහ සොරකම් කරන ලද අලියෙකු බව දැන හා ලියාපදිංචි නොකළ සහ සොරකම් කරන ලද අලියෙකු බව විශ්වාස කිරීමට හේතු තිබියදී පොදු දේපොළක් වන අලියෙකු වංචනිකව තම සන්තකයේ තබා ගැනීම යන අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.