උ කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකරයි
උතුරු කොරියාව සබ්මැරීනයක සිට තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව ඇමෙරිකාව හා දකුණු කොරියාව කියයි.
එරට නැගෙනහිර සින්පෝ නගරය ආසන්න මුහුදේ සිට දියත් කර ඇති KN-11 මිසයිලය කිලෝමීටර් 500ක් පමණ දුර ගමන් කිරීමෙන් පසුව ජපාන මුහුදට පතිත වී ඇති බවද ඇමෙරිකාව පවසයි.
දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා ප්‍රධානියා පවසන්නේ මෙම මිසයිලය ජපානයේ ගුවන් ආරක්ෂණ හඳුනාගැනීම් කලාපය තුළට පතිත වී ඇති බවයි.
ඇමෙරිකාව හා දකුණු කොරියාව එක්ව වාර්ෂිකව පවත්වන හමුදා අභ්‍යාස ආරම්භ වීමත් සමග උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බැවින්, මෙය එකී අභ්‍යාසයන් කෙරෙහි උතුරු කොරියාවේ අප්‍රසාදය පළ කිරීමේ මිසයිලයක් විය හැකි බව විචාරකයෝ පවසති.
මෙවර එම හමුදා අභ්‍යාසය සඳහා දෙරටේම සෙබලුන් 80,000ක් පමණ සහභාගී වී සිටින බවත්, සිවිල් වැසියන් ගැවසෙන ප්‍රදේශයක සිදුවිය හැකි හදිසි ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණදෙන ආකාරයද මෙවර හමුදා අභ්‍යාසයේදී පුහුණුවීම් සිදුකෙරෙන බවත් වාර්තා වෙයි.
ඇමෙරිකාවේ හා දකුණු කොරියාවේ මෙම හමුදා අභ්‍යාසය උතුරු කොරියානු ආක්‍රමණයක සූදානමක් බව උතුරු කොරියාවෙන් නිතර නැගෙන චෝදනාව වන අතර, ඔවුන් එකතුව කොරියානු අර්ධද්වීපය යුද්ධයක් වෙත තල්ලු කරන බවටද උතුරු කොරියාව චෝදනා නඟයි.
කෙසේ වෙතත්, උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ජපානය, චීනය හා දකුණු කොරියාව යන රටවල විදේශ අමාත්‍යවරු ටෝකියෝ නුවරදී විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බවද වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

