වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් පුද්ගලයන් විසින් කිසිදු නියාමනයකින් තොරව ඉස්සන් වගා කිරීම නිසා ඉස්සන්ට බෝවිය හැකි සුදු පුල්ලි රෝගය (white spotted disease) වැනි දරුණු වෛරස් හා බැක්ටීරියා රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.
මේ නිසා ඉස්සන් වගා කිරීමේ කර්මාන්තය ආරක්ෂාකර ගැනීමට එම කර්මාන්තය දැඩිව නියාමනය කිරීමට හා අධීක්ෂණය කිරීමට විශේෂ කාර්ය සාධක බළකායක් සහ මෙහෙයුම් කමිටුවක් ධීවර අමාත්‍යාංශය විසින් පත්කරනු ලැබීය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි, අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15දා) ඉස්සන් වගා කිරීමේ කර්මාන්තය පිළිබඳව සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙම සාකච්ඡාවට නාරා ආයතනය, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය නියෝජය කරමින් නිලධාරීහු සහ ඉස්සන් වගා කිරීමේ යෙදී සිටින ව්‍යාපාරික ප්‍රජාවේ පිරිසක්ද සහභාගී වූහ.
දිවයිනේ සෙසු ප්‍ර‘දේශ හැර පුත්තලම දිස්ත්‍රික්කයේ බහුලව ඉස්සන් වගා කිරීමේ කොටු ආරම්භ කර තිබුණත්, ඒවා විධිමත් පරිදි නියාමනය නොවීමත්, එම කොටුවල ජලය බැහැර කිරීමේදී ආරක්ෂිත පියවර නොගැනීමත් හේතුවෙන් ඉස්සන්ට බෝවිය හැකි දරුණු වෛරස් හා බැක්ටීරියා රෝගවලින් මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය විය.
මීට පිළියම් යෙදීම සඳහා අමාත්‍යංශ ලේකම්වරිය විසින් කාර්යසාධක බළකායක් සහ මෙහෙයුම් කමිටුවක් පත් කළ අතර, අදාළ කාර්යසාධක බළකාය විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගා කිරීම අධ්‍යයනය කර, මාස 03 ක් තුළ තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය උපදෙස් දෙනු ලැබීය.
කෙසේ වෙතත් ඉදිරි කාලයේදී පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඉස්සන් වගා කිරීම සඳහා බලපත්‍ර ලබා නොදීමට තීරණය කරන බවත්, ලංකාවේ වෙනත් ඕනෑම ප්‍ර‘දේශයක ඉස්සන් වගාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇති බවත් මංගලිකා අධිකාරී මහත්මිය පැවසුවාය.