ඉරාකයේ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ බල කඳවුර ලෙස සැලකෙන ෆලූජා නගරය යළි අත්පත් කරගැනීම සඳහා ඉරාක හමුදා අවසන් මෙහෙයුම් අරඹා ඇති බව වාර්තා වේ.
2014 වසරේ සිට ජිහාඩ් අන්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින මෙම නගරය අත්පත් කරගැනීම සඳහා ඉරාක හමුදා මීට සතියකට පෙර ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම් මාලාවේ උච්චතම අවස්ථාව වෙත පැමිණ ඇති බව විදෙස් වාර්තා කියයි.
කෙසේ වෙතත්, මෙම නගරය තුළ 50,000කට අධික සාමාන්‍ය වැසියන් පිරිසක් සිටින බවත්, ත්රස්තයන්ගේ ග්රහණයෙන් මිදී පැමිණීමට හැකිවී ඇත්තේ ඉතා සුළු පිරිසකට බවත් විදෙස් වාර්තා කියයි.
ඉරාකයේ බැග්ඩෑඩ් නගරය ආශ්‍රිතව පසුගිය සති කිහිපය පුරා පුපුරාගිය දැවැන්ත බෝම්බ ප්රහාරයන් සමග ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ බල කඳවුර අත්පත් කරගැනීමට ඉරාක හමුදා මෙම දැවැන්ත මෙහෙයුම අරඹා තිබේ.
එරට රජයේ වාර්තාවන්ට අනුව සාමාන්‍ය පාබල හමුදාවන්ට අමතරව, විශේෂ කාර්ය බලකා හමුදාවන්ද මෙම මෙහෙයුම සඳහා සහභාගී වී සිටියි. ඔවුන් පැති කිහිපයකින් නගගරය වට කරමින් සිටින බවද කියැවෙයි.
මෙහිදී, ඉරාක හමුදාවන්ට මුහුණදීම සඳහා ජිහාඩ් සටන්කරුවන් මරාගෙන මැරෙන ප්‍රහාර මෙන්ම, කාර් බෝම්බ පුපුරුවා හැරීම්ද සිදුකරමින් සිටින බවද කියැවෙයි.
මේ කිසිදු ප්‍රහාරයක් හමුවේ පසුනොබසින බවත්, තම ඉලක්කය සපුරාගන්නා තුරු නගරය වෙත ඇදෙන බවත් ඉරාක හමුදාව බී.බී.සී.ය වෙත පවසා තිබුණි.