සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් සැදි ISIS ත්රස්තයන් හා ඉරාක රජයේ හා රජයට පක්ෂපාතී කොටස් අතර උතුරුදිග ඉරාකයේ තල් අෆාර් ගුවන් තොටුපළේ සහ බයිජි තෙල් පිරිපහදුව ආසන්න කලාපයේ මේ වනවිට අති දරුණු ගැටුම් හටගෙන ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
ඉරාකයේ විශාලතම තෙල් පිරිපහදුව ලෙස සැලකෙන බයිජි, මේ වනවිට ත්රස්තයන් විසින් වටකොට ඇති බවත්, ඔවුන් තල් අෆාර් ගුවන් තොටුපළේ වැඩි කොටසක් තම ග්රහනයට ගෙන ඇති බවත් වාර්තා වෙයි.
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා ඉරාකය වෙත ඇමෙරිකානු යුද උපදේශකයන් 300ක් එවන බව ප්රකාශ කර දිනක් ගත වීමටත් පෙර මෙම දරුණු ගැටුම්කාරී තත්ත්වය හටගෙන තිබේ.
මේ අතර, ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී නුදුරේදීම ඉරාකය වෙත යෑමට සූදානමින් සිටින අතර, එහිදී ඉරාක කැබිනට් මණ්ඩලය වෙත වැඩි බලපෑමක් කිරීම කෙරීගේ මෙම සංචාරයේ අරමුණ බව කියැවෙයි.
මෙම අර්බුදය කොතරම් උග්ර අතට හැරීද යත්, මේ වනවිටත් ඉරාක වැසියන් ලක්ෂ 5කට වැඩි පිරිසක් ඉරාකයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන මොසුල් අතහැර පළාගොස් තිබෙන්නේ පසුගිය සතියේදී එය ත්රස්තයන් විසින් සිය ග්රහණයට ගැනීමත් සමගිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි මේ වසරේ ඉරාකය තුළ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මිලියනයකට වඩා වැඩි ජනාවකට උන්හිටිතැන් අහිමිවී තිබේ.