තමා ඇතුළු ඌව පළාත් සභාවේ මැති ඇමතිවරුද නිලධාරීන්ද ඇතුළුව 59 දෙනෙක් නොබෝදා ඉන්දියාවේ අධ්‍යයන චාරිකාවක යෙදුණේ, මහජන මුදලින් නොවන බව ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
දසනායක මහතා මේ බව පැවසුවේ, සිය කාර්යාලයේදී, ඊයේ (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. කසළ කළමනාකරණ අධ්‍යයනයක් සඳහා මෙම චාරිකාවට සහභාගී වූ අතර, ඒ සඳහා මුළු වියදම දරන ලද්දේ කසළවලින් විදුලිය නිපදවන එරට සමාගමක් විසින් බවද ඒ මහතා අවධාරණය කළේය.
පුද්ගලික ගමනක් සේ සලකා මෙම විදෙස් ගමනට ‘තමා ඇතුළු සභාවේ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ අවසරය ලබාගත් බවත් ජනාධිපතිවරයාගෙන් අවසරය නොලබා මෙම ගමන ගිය බවට හා මහජන මුදලින් මෙම ගමන ගිය බවට ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තා මුළුමනින්ම සාවද්‍ය බවද ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.