අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ආධාර රැගත් ඉන්දියානු නාවික හමුදාවට අයත් කර්ච් නෞකාව අද (27දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමාසරිස් තරන්ජිත් සිං සන්ධු මහතා ඇතුළු නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් එක්ව සිටියහ.
මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිමහතා කටයුතු කර තිබේ. වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, කූඩාරම් සහ බෙහෙත් වර්ග මෙම නෞකාවන් මගින් රැගෙන එන ලදී. තවද, ගං වතුරින් අවතැන් වූ පුද්ගලයන් මුදවා ගැනීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායමක් ද නෞකාව සමග ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.