රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ හා කපු මහතුන් අතර ගැටලුවක් මුල් කරගෙන අද (22දා) එම දේවාලයේ උදෑසන පූජාව නොපැවැත්විණි.
මේ පිළිබඳ අදහස් දක්වමින්, කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී. කුමාරගේ මහතා,
“මම අද උදෑසන දේවාලය විවෘත කිරීමට දේවාලයට ගිය අවස්ථාවේ දේවාලයේ යතුර තිබුණේ නැහැ. පසුව මම යතුරක් ගෙන දේවාලය විවෘත කරන්න ගියා. ඒ අවස්ථාවේ ලාල් කියන කපු මහතා පැමිණ,“ඔයාට තියෙන අයිතිය මොකක්ද දේවාලය අරින්න* කියලා බැන්නා. පසුව කපු මහතුන් දේවාලයේ ප්රධාන දොරටු වසා තැබුවා. පසුව මම මගේ නිල නිවසට ආවා* යැයි පැවසීය.
මේ සම්බන්ධයෙන් කතරගම දේවාලයේ කපු මහතෙකු වන ලාල් අරාපක්ෂ මහතා පැවසුවේ,
“උදෑසන 4.30පූජාව සඳහා මම දේවාලය අරින්න සොමිපාල ටී. රත්නායක කපු මහතා සමග ආවා. ඒ එනකොට බස්නායක නිළමේ ඩී.පී. කුමාරගේ මැර පිරිසක් හා ඔහුගේ පුතා පැමිණ යතුර බලහත්කාරයෙන් පැහැරගෙන ගියා. ඉතිහාසයේ ප්රථම වතාවට තමයි කතරගම දේවාලයේ පුජාව පැවැත්නොවුණේ. මේක රටට හොඳ නැහැ. බැතිමතුන් පූජාව තැබීමට ඇවිත් ඉන්නවා. බැතිමතුන් දැඩි අපහසුතාවට පත්වෙලා ඉන්නේ.මේ වගේ බස්නායක නිළමේවරයෙක් අපි ජීවිතේට දැකලා නැහැ* යනුවෙනි.
අදාළ කාරණාව සම්බන්ධයෙන් අප කතරගම දේවාලයේ ප්රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක මහතාගෙන් විමසා සිටි අතර, ඔහුඅදහස් දක්වමින්,
“මගේ තේවා මාසය අදින් අවසන්. අද දහවල් 12.00 ට තමයි මම මාසය බාරදෙන්න හිටියේ. නමුත් බස්නායක නිළමේ කුමාරගේ මහතා පිස්තෝල අරන් ඇවිත් බලහත්කාරයෙන් දේවාලයේ යතුර පැහැරගත්තා කතරගම දේවාලයේ මාසයක් කපු මහතෙකුට දෙනකොට සම්ප්රදාය තමයි දේවාලයේ යතුර දේවාලයේ දී බාරදෙන එක. මේ යතුර දුටුගැමුණු රජුගේ දවසේ සිට පැවත එන වස්තුවක්. ඒක තැන් තැන්වලට අරගෙන යන්න හොඳ නැහැ. මම ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලනවා මේ වැනි නිළමේවරුන් ගැන තීරණයක් ගන්න කියලා" යැයි සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ගමේ ජනතාව සහ කපු මහත්වරුන්ගේ පවුල්වල පිරිස් බස්නායක නිළමේවරයාගේ නිල නිවසට ගොස් කලබල කිරීම හේතුවෙන් යම් නොසන්සුන් තත්ත්වයක් ඇති වූ අතර, පසුව යතුර ලබාගෙන කපු මහතුන් විසින් දේවාලයේ පූජාව පැවැත්විණි.
ගම්වාසීන් පහරදීම නිසා බස්නායක කාර්යාලයේ සේවකයන් දෙදෙනෙකුද තිස්සමහාරාම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
කතරගම - සන්දිම දේවපි්රය