ඇමෙරිකාවේ දෙවැනි විශාලතම දුම්වැටි නිෂ්පාදන සමාගමට එරෙහිව නඩු තීන්දුවක් ප්රකාශයට පත්කරමින් පෙනහළු පිළිකාවකින් මියගිය අයෙකුගේ බිරිඳ වෙත ඇ.ඩො.බිලියන 23.6ක (රු.බිලියන 3,000ක පමණ) මුදලක් ගෙවන ලෙස ඇමෙරිකානු අධිකරණයක් නියෝග කර ඇති පුවතක් බී.බී.සී.ය වාර්තා කරයි.
ආර්.ජේ.රෙනෝල්ඩ්ස් දුම්කොළ සමාගමට මෙම මුදල ගෙවීමට සිදුව තිබෙන්නේ හානිපූර්ණ වන්දි වශයෙන් ගෙවීමට නියම වී ඇති ඇ.ඩො.මිලියන 16.8 ක (රු.මිලියන 2,000ක පමණ) මුදලටද අමතරවය.
සින්තියා රොබින්සන් නමැති කාන්තාව මෙම දුම්කොළ සමාගමට එරෙහිව 2008 වසරේදී නඩු පවරා ඇත්තේ, 1996 වසරේදී පෙනහළු පිළිකාවක් වැළඳුණු සිය සැමියාගේ මරණය වෙනුවෙන් අදාළ දුම්කොළ සමාගමට චෝදනා ගොනු කරමිනි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති දුම්කොළ සමාගමේ ප්රකාශකයන් පවසන්නේ අධිකරණ නියෝගය බලවත් අසාධාරණ නියෝගයක් බවය.
සති හතරක් පුරා පැවති නඩු විභාගයේදී රොබින්සන් මහත්මියගේ නීතීඥවරු තර්ක කරනු ලැබුවේ අදාළ දුම්කොළ සමාගම දුම්බීමෙන් පාරිභෝගිකයන්ට ඇතිවන අනතුර ගැන සිය පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමට නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බවය.
එම සමාගමේ මෙම නොසැකිලිමත්කම ඇගේ ස්වාමියා වූ මයිකල් ජොන්සන් දුම්බීමට ඇබ්බැහි කරවමින්, ඔහු වෙත පෙනහළු පිළිකාවක් වැළඳීම දක්වා කටයුතු යෙදී ඇති බවත්, නීතීඥවරු පෙන්වා දී තිබේ.
දුම්වැටියක් නිෂ්පාදනය කිරීමේදී ඉන් පාරිභෝගිකයන්ට සිදුවන හානිය පිළිබඳ අදාළ සමාගම දැන සිටියත්, එය තම පාරිභෝගිකයන් වෙත නිසිලෙස දැන්වීමට ඔවුන් අපොහොසත් වී ඇති බවටද නීතීඥවරු තර්ක කර ඇත.
මෙම නඩු තින්දුව හරහා ආර්.ජේ.රෙනෝල්ඩ්ස් දුම්කොළ සමාගමට මෙන්ම සෙසු දුම්කොළ සමාගම්වලටත් අසරණ මිනිසුන් අනතුරේ වැටීම වැළැක්වීමට පියවර ගැනීමේ දැවැන්ත පණිවුඩයක් ලබාදෙන බව තමන් විශ්වාස කරන්නේ යැයි එකී නීතීඥයන් පවසා ඇති බව බී.බී.සී.ය කියයි.
මේ අතර, අදාළ දුම්කොළ සමාගම මෙම නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කියැවෙයි.
මෙම නඩුවේදී ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ප්රාන්තය තුළ තනි පුද්ගලයෙකු වෙනුවෙන් ඉතිහාසයේ ගෙවීමට නියම වූ ඉහළම වන්දි මුදල රොබින්සන් මහත්මිය වෙත හිමිවෙන බවද බී.බී.සී.ය වැඩිදුරටත් පෙන්වා දෙයි.