රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට සිටි තමාට ඒ සඳහා ඇමෙරිකාව අවස්ථාව නොදීම පසුව ශ්‍රී ලංකා ආණ්ඩුව සිටීදැයි සැකයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
තමාගේ ඇමෙරිකානු ගමන වැළැක්වීම පිළිබඳව ඇමෙරිකානු හිතවත් මාධ්‍ය වාර්තා කරන තොරතුරු හා රජය පවසන තොරතුරු එක සමාන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා සතිපතා අද පුවත්පතට ලියන කුරහන් සුවඳ තීරු ලිපියේ මේ බව දැක්වෙයි. ඇමෙරිකාව වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය වීසා තමන්ට පැවැති බවත් ඔහු ප්‍රකාශ කරයි.
උපුටා ගැනීම
"රුසියානු ජනාධිපතිවරණයේ කටයුතු නිමාවීමත් සමග රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට මා සූදානම්ව සිටියද, ඇමෙරිකාවේ උපදෙස් පරිදි මා ඇමෙරිකාව බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් යානයට ඩුබායිවලදී ගොඩවීමට අවස්ථාව නොලැබිණි. මෙය බලාපොරොත්තු නොවූ තත්ත්වයක් වන අතර, මේ අවස්ථාවේදී එය දරාගත හැකි තත්ත්වයට පත් කිරීමට ගුවන් යානයේ කාර්යමණ්ඩලය කටයුතු කළ අකාරය ප්‍රශංසනීයය.
රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට මාගේ ප්‍රධානම අරමුණ වූයේ පවුලේ ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයක් සඳහා එක්වීමය. නමුත් ඒ සඳහා අවස්ථාව නොලැබීම කනගාටුදායකය. මේ සඳහා විවිධ පාර්ශ්ව විසින් විවිධ ආකාරයේ අදහස් පළකරමින් සිටියි.
අමෙරිකාවට සම්බන්ධ එහෙත් රුසියානු විරෝධී වෙබ් අඩවි සඳහන් කරන්නේ මා හට ඇමෙරිකාව වෙත ගමන් කිරීම සඳහා වීසා නොමැති වීමෙන් මා හට මෙම අවස්ථාව අහිමි වූ බවයි. නමුත් මා දන්නා තරමින් මාගේ ගුවන් බලපත්‍රයේ ඒ සඳහා වීසා තිබිණි. කෙසේ වෙතත් මේ වනතෙක් ඇමෙරිකාව විසින් මාගේ ගමන වැළැක්වීමට අදාළව කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් මා වෙත ඉදිරිපත් කර නොමැත. මේ අනුව මාගේ ඇමෙරිකානු ගමන වැළැක්වීම පසුපස ශ්‍රී ලංකා ආණ්ඩුව සිටිනවාදැයි දැන් සාධාරණ සැකයක් ඇතිව තිබේ. මන්දයත් ඇමෙරිකානු ඇතැම් වෙබ් අඩවි හා ලංකාවේ ආණ්ඩුව හැසිරෙන ආකාරයේ වෙනසක් නොමැති හෙයිනි."