ඇමෙරිකා එක්සත් ජනපද කොංග්රසය හෙවත් ඇමෙරිකානු ෆෙඩරල් රජයේ නීති සම්පාදක ශාඛාව ලෙස සැලකෙන ඇමෙරිකානු කැපිටල් හිල් ගොඩනැගිල්ල තුළ වෙඩි තැබීමක් සිදුව තිබේ.
වොෂිංටන් නුවර පිහිටි මෙම ගොඩනැගිල්ලේ අමුත්තන් රැඳෙන කලාපයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ගොඩනැගිල්ල තුළ සිටි පිරිසට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් ලබාදී තිබේ.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මෙම ප්රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, ආරක්ෂක තත්ත්වය සලකා කැපිටල් ගොඩනැගිල්ල වසා දැමීමට කටයුතු කර ඇති අතර, මෙම ගොඩනැගිල්ල ආසන්නයේ සිටින ජනතාවටද අවාධානයෙන් පසුවන ලෙස අවධාරණය කර තිබේ.
පාස්කු නිවාඩු සමය හේතුවෙන් ඇමෙරිකානු කොංග්රස් සාමාජිකයන් වැඩි දෙනෙකු නිවාඩු ගත කරමින් සිටියත්, ඇතැම් කොංග්රස් සාමාජිකයන් හා කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවේදී මෙහි සිට ඇත.
කෙසේ වෙතත්, මෙම කැපිටල් ගොඩනැගිල්ල ආදී වූ අධි ආරක්ෂිත ස්ථානවල ආයුධ හඳුනාගැනීමේ උපකරණ සවිකර ඇති බවත්, එමෙන්ම මෙවැනි ස්ථාන වෙත ආයුධ රැගෙන ඒම සපුරා තහනම් වුවත්, මෙම වෙඩි තැබීම කෙසේ සිදුවූයේද යන්න තවම පැහැදිලි කිරීමක් සිදුකර නැත.