ඇමෙරිකාවේ, අධිකරණයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට මිචිගන් ප්රාන්තයේ, අධිකරණ ශාලාවක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමට සිටි රැඳවියෙකු, ආරක්ෂකයෙකුගේ ගිනි අවියක් උදුරාගෙන සිදුකළ විවෘත වෙඩි තැබීමකදී මෙම මරණ සිදුව තිබේ.
එහිදී, එම අධිකරණ ශාලාවේ සිටි අනෙක් ආරක්ෂක නිලධාරීන් වහා ක්රියාත්මක වෙමින්, මෙම රැඳවියාව වෙතද වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති අතර, එම ප්රහාරයෙන් ඔහුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පහරදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරය එල්ල කළ පුද්ගලයා පිළිබඳ තොරතුරු ලබාදී නොමැති අතර, ඔහු කවර වරදක් යටතේ සිරගතව සිටියේද යන්නත් මෙතෙක් හෙළි කර නැත.
ඇමෙරිකාව පුරා කළු ජාතික උද්ඝෝෂණ මාලාවක් සිදුවන හා එම උද්ඝෝෂණ අතරතුර පොලිස් නිලධාරීන් ඉලක්ක කර ප්රහාර දියත්වන අවස්ථාවක මෙම ප්රහාරයද සිදුව තිබීම විශේෂත්වයක් වන අතර, මෙය වර්ගවාදී අරමුණක් සහිතව සිදුකළ ප්රහාරයක්ද යන්න මෙතෙක් අනාවරණය කර නැත.