ඇමති රංගෙ බණ්ඩාරට ASP තනතුර දීමට විරෝධය
දේශපාලන පළිගැනීමට ලක් වූ පොලිස් නිලධාරීන්ට සහන සලසාදීමට ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව දේශපාලන පළිගැනීමට ලක් වූ බවට නිර්දේශ වූ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටියදී වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වූ පාලිත රංගේ බණ්ඩාර මහතාට පමණක් උසස්වීම් ලබාදීමට පොලිස් කොමිසම අනුගමනය කළ ක්‍රියාමාර්ගයට දැඩි විරෝධය පළ කරන බව දේශපාලන පළිගැනීමට ලක් වූ පොලිස් නිලධාරීහු ප්‍රකාශ කරති.
රංගෙ බණ්ඩාර මහතා ජාතික පොලිස් කොමිෂමේ නිර්දේශය මත සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට නියමිතය.මෙම සිදුවීමෙන් පෙනීයන්නේ ස්වාධීනව කටයුතු කළ යුතු පොලිස් කොමිසම පක්ෂග්රාහීව කටයුතු කරන්නක් බවට ප්‍රසිද්ධියේ මුළු රට හමුවේම පෙන්වා දී ඇති බවට එම නිලධාරීහු චෝදනා කරති.
අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව සහන සලසා දිය යුතු බවට නිර්දේශ වූ දේශපාලන පලිගැනීමට ලක් වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 129 කි. මෙම පිරිසට නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු, උපපොලිස් පරීක්ෂකවරු සහ සැරයන්වරු අයත්ය.
මේ වනවිට ද මෙම පිරිසෙන් 30 දෙනෙකු පමණ නියමිත උසස්වීම් නොලැබ සේවයෙන් විශ්‍රාම ගොස් සිටින අතර, තවත් පිරිසක් සේවයෙන් අතහැර ගොස් සහ ජීවිතක්ෂයට පත්ව සිටිති.
මීට පෙර පැවැති රජයන් සමයේදී විවිධ හේතූන් මත දේශපාලන පළිගැනීම්වලට ලක්ව සේවය අහිමි කිරීමෙන්, උසස්වීම් ප්‍රමාද කිරීමෙන් තම අයිතිවාසිකම් අහිමි වී ඇති බවට මෙම පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ නඩු ද පවා ගොනු කර තිබුණි.
එසේ තිබියදී වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අසාධාරණයට ලක් වූ තමන්ට සාධාරණය ඉටු කරදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබියදී දේශපාලනඥයෙකු වන රංගේ බණ්ඩාර මහතාට පමණක් උසස්වීමක් සමග විශ්‍රාම යාමට සැලැස්වීම තමන්ට කරන ලද බරපතළ අසාධාරණයක් බව එම නිලධාරීහු පෙන්වා දෙති.
අසාධාරණයට ලක්ව සිටින ඕනෑම නිලධාරියෙකුට එම වරප්‍රසාදය ලබාදුන්නා නම් එය ඉතාම සාධාරණ බවද එසේ නොකොට දේශපාලනඥයකු ලෙස සියලු වරප්‍රසාද විඳිමින් සිටින රංගේ බණ්ඩාර මහතා වැනි අයකුට එම වරප්‍රසාදය ලබාදීම සදාචාර සම්පන්න නොවන බවට ද ඔවුහු චෝදනා කරති.
පසුගිය රජය සමයේදී පළිගැනීම්වලට ලක් වූ උසස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට පමණ රජයේ විවිධ දේශපාලන හිතවත්කම් මත උසස්වීම් ලබාදී ඇති බව ද එම නිලධාරීහු පෙන්වා දෙති.
පොලිස් කොමිසමේ දෙබිඩි පිළිවෙත හෙළාදකින බව ද ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරමින් අසාධාරණයට තමන්නට නිර්දේශ වී ඇති උසස්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසටද එම පොලිස් නිලධාරීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


